ඔයා කොහොමද මෙච්චර පහසුවෙන් ඔයාගේ ජීවිතෙන් මිනිස්සුන්ව ඉවත් කරන්නේ? කෙනෙක් දවසක් මගෙන් ඇහුවා.
නෑ ඔයාට එහෙම පෙනුණට ඒක එහෙම එකපාරට සිද්ද වෙන දෙයක් නෙමෙයි.
මං එයාලට ආදරෙයි, මං එයාලට උදව් කරනවා, ළඟින් ඉන්නවා, එයාලගේ දවස් ප්‍රීතිමත් කරනවා. මං එයාලා වෙනුවෙන් පෙනී ඉන්නවා, සමාව දෙනවා, ඔවුන් කරන දේවල් වෙනුවෙන් නිදහසට කරුණු හදාගන්නවා, මම එයාලට අවස්ථාවන් දෙනවා එකකට පස්සේ එකක්. මං එයාලා එක්ක සාකච්ඡා කරනවා, තේරුම්ගන්න උත්සාහ කරනවා. මම මට දෙන්න පුළුවන් උපරිමේටත් වඩා මගේ හොඳම වර්ෂන් එක එයාලට දෙනවා. මං කවදාවත් එයාලට බොරු කරන්නේ නැහැ, රවට්ටන්නේ නැහැ. මම එයාලට විශ්වාසවන්තයි. මම දේවල් වෙනස් වෙයි කියලා බලාගෙන ඉන්නවා. ඔව් මං අන්තිම මිනිත්තුව වෙනකනුත් එහෙම බලන් ඉන්නවා. නමුත් එක දවසකදි මං මේ හැමදේම නවත්තනවා. නිහඬවම. ඒ දවස උදා වුණාට පස්සේ එයාලට ආපහු කිසිම දවසක මගේ ජීවිතයේ දොරවල් ඇරෙන්නේ නැහැ. කෙනෙක්ට මාව රඳවලා තියාගන්න පහසුයි, ආදරණීය වීම සහ විශ්වාසවන්ත වීම ඇරෙන්න මහලොකු දේවල් මං ඉල්ලන්නේ නැහැ. ඒත් එයාලා ඒ අන්තිම අවස්ථාවත් මඟහැර ගත්තොත් එයාලාට නැවත කිසි දවසක මාව ලබාගන්න බැහැ.
ඔයා දන්නවා කියලා මං හිතනවා..., අපේ ජීවිතේ සමහර සමුගැනීම් සිද්ද වෙන්නේ අපි නිහඬ වෙන්න තීරණය කරන එක තීරණාත්මක දවසකදි නෙමෙයි. ඒ සමුගැනීම් හරියටම සිද්ද වෙන්නේ අපි අන්තිම වතාවටත් උත්සාහ කරලා වෙහෙසට පත් වුණු දවසෙදි යි.
ඉතිං එතකොට “ඔයා කොහොමද මෙච්චර ලේසියෙන් ඔයාගේ ජීවිතෙන් මිනිස්සුන්ව ඉවත් කරන්නේ?” කියලා කව්රුහරි අහනකොට මට හිනා යනවා. මොකද ඒ ප්රශ්නය ඇතුළේ තියෙන්නේ මං හරිම සීතල, නපුරු මනුස්සයෙක් වගේ වැටහීමක්. ආච්චිගේ රෙද්ද!
මිනිස්සු හිතන්නේ මම කෙනෙක්ව මගේ ජීවිතෙන් ඉවත් කරන්නේ හරිම පහසුවෙන්, කිසිම හැඟීමක් නැතුව, එක ක්ෂණයකින් ගන්න තීරණයකින් කියලා. එහෙම මට චෝදනා කරපු, නමුත් අවසන් අවස්ථාවත් තමන්ගේ බුල්ෂිට්ස් එක්ක විනාස කරපු මිනිස්සු මගෙ ජීවිතේ ඉදලා තියෙනවා. නමුත් ඒක නෙමෙයි ඇත්ත.
සැළකිය යුතු තරම් කාලයක් මගේම විශ්වාසයන් එක්ක රණ්ඩු කරගෙන එයාල වෙනුවෙන් මඟ බැලුවට පස්සේ එක දවසකදී මම මේ හැමදේම නවත්වනවා. ඔයා කියයි ඒක දුෂ්ටයි කියලා ඒත් ජීවිතේ මට උගන්නලා තියෙනවා හැමදේටම සීමාවක් තියෙන බව. ඒ වගේ සීමා පාඩම් ගණනකට පස්සේ මගේ තුන්වෙනි දශකයේ මැද බාගයේදී ඒ ජීවිතය විසින්ම මගේ ආත්මය ඇතුලේ switch එකක් හයි කළා. ඒ කරලා මගේම ජීවිතේ මට මෙහෙම කිව්වා.
"වස්තුවේ, ඔයා මෙච්චර කල් ඔයාගේ උපරිමයෙන් ආදරේ කළා, විශ්වාස කළා, උදව් කළා, දරාගත්තා. ඔයා උදව් කරපු, ආදරේ කරපු මිනිස්සු කිසිම හේතුවක් නැතුව ඔයාගේ පිටට පිහියෙන් අනිනකොටත් ඔයා ඒ තුවාල තනියම මහගෙන එයාලව තවදුරටත් තේරුම්ගන්න උත්සාහ කළා. ඔයාව ඉතා හොඳින් දන්න මිනිස්සු ඔයාගේ ජීවිතේ වටිනාම දේවල් උදුරගනිද්දී, ඔයා විශ්වාස කරපු මිනිස්සු, විශ්වාස කළ නොහැකි තරම් ද්‍රෝහිකම් ඔයාට කරද්දී තවදුරටත් ඔයා ඒ මිනිස්සුන්ට කරුණාවන්ත වුණා. මනුස්සයෙක් විදිහට ඔයා මුහුණ නොදිය යුතු තරම් කුණාටුවලට මුහුණ දුන්නා. හැබැයි ඒ හැම තැනදිම කොච්චර තුවාල වෙලා හරි ඔයා ඔයාව පරිස්සම් කරගත්තා. ඉතිං ඔයා මගේ පරීක්ෂණය ඉහළින්ම සමත්! ඒ වෙනුවෙන් ඔයාට ලැබෙන reward එක තමයි මේ switch එක. මං ඒක ඔයාගේ ආත්මය මත සවි කරනවා. දැන් ඔයාට අවශ්‍යයි කියලා හිතෙන වෙලාවෙදි මිනිස්සු සම්බන්ධ ඔයාගේ හැඟීම් පහසුවෙන් එක පාරින් switch off කරලා දාන්න පුළුවන්. You are blessed!
ඉතින් අන්න එහෙමයි ඒක සිද්ද වුණේ.
දැන් කෑගහන්නේ නැතුව, චෝදනා කරන්නේ නැතුව, අවසන් වතාවටත් මාව තේරුම්ගන්න කියලා ඉල්ලන්නේ නැතුව මම නිහඬ වෙනවා. ඔව් ඒ මනුස්සයා සම්බන්ධයෙන් මගේ ආත්මය මත ඇති හැඟීම්වල switch එක off කරනවා.
ඒක නිහඬ පළිගැනීමක් එහෙම නෙමෙයි. එයාලාට රිදවන්න කරන දෙයක් නෙමෙයි. ඒ මම මගේ ආදරය, කාලය සහ අවධානය කියන rewards තවදුරටත් මාව නොසලකා හරින තැනක වියදම් නොකරන්න ගන්න තීරණයක්. මොකද මේ හැමදේටම පස්සේ, මේ හැම කුණාටුවටම පස්සේ මං උපයගත්ත සාමය බොහොම මිල අධිකයි. මට මනුස්සයෙක්ට ආදරේ කරන්න හෝ ඒ මනුස්සයාගේ ආදරේ ලබන්න ඒ සාමයෙන් ලොකු කොටසක් වියදම් කරන්න වෙනවනම්, its not worth!
මම කෙනෙක්ව අතාරින්නෙ එයාලා මට එක පාරක් රිද්දපු නිසා නෙමෙයි. එහෙම කරන්න එපා කියලා මම ඉල්ලපු හැම අවස්ථාවක්ම එයාලා නොසලකා හැරිය නිසයි.
මං ඔයාට කතාවක් කියන්නම්...
ටිකක් ගස් කොළන් පිරුණු, දවල්ට පවා ටිකක් අඳුරු ගම්බද පාරක වංගුවේ කුඩා ලස්සන ගෙදරක් තිබුණා. මේ ගෙදර ජීවත් වුණේ ලෝකේ ලස්සනම දැකපු, මෘදු හදවතක් තිබුණු තනි ගැහැණු කෙනෙක්. කාලයක් මේ ගෙදර ජීවත් වෙනකොට එයා දැක්කා මේ අඳුරු පාර දිගේ හවසට ඇවිදන් යන සමහර මිනිස්සු ඒ ගමන යන්නේ බයෙන් බයෙන්, නැත්නම් මහන්සියෙන්, දුකින්.
ඉතිං එයා තීරණය කළා එයාගේ නිවසේ ඉදන් මාවතට ආලෝකය වැටෙන විදුලි බල්බයක් සවි කරන්න. එයා ඒක කළා, ඒ විතරක් නෙමෙයි ඒක අඳුර වැටෙන වෙලාවේ ඉදන් උදේ ඉර පායනකම්ම නොනිවා තියන්න එයා වග බලා ගත්තා. තව ටික දවසකින් ඒ ගෙදර ළඟින් යන මිනිස්සුන්ට එහි ඇරුණු දොරින් හිත නිවන, ප්‍රීතිමත් ග්රැමෆෝන් සංගීතයකුත් අහන්න ලැබුණා. ඒ සංගීත රාවය මාවතේ ටිකක් දුර යනකනුත් ඇහුණා. මේ අලුත් ආලෝකය හා ප්‍රීතිමත් බව එක්ක මිනිස්සු ඒ මාවත දිගේ වඩා විශ්වාසයෙන් සතුටින් ඇවිදගෙන ගියා. සමහර දවස්වලට ඇය එළිපත්තේ ඉදගෙන ඔවුන්ගේ ගමන සුබ වෙන්න පැතුවා.
ඉදහිට දවසක කෙනෙක් ඇයගේ තැපැල් පෙට්ටිය උඩින් මඟ පාරෙන් කඩාගත්ත මල් මිටක් තියල ගියලා. ඒ වගේ දවසකට පහුවෙනිදා ඒ තැපැල් පෙට්ටිය උඩ ඇය හවස හදපු උණු කුකීස් තියලා තිබුණා.
නමුත් දවසක් ඇයට අසනීප වුණා. ඇයට එළියේ බල්බ් එක switch on කරන්නවත් ඇඳෙන් නැගිටගන්න බැරි තරමට අසනීපයි. ඒත් ඒ පාරෙන් යන මිනිස්සු නිකමටවත් ඇගේ දොරට තට්ටු කරලා ඇය ගැන හොයලා බැලුවේ නැහැ. දෙවෙනි, තුන්වෙනි දවසෙත් ඒ විදිහට වෙනකොට ඇයට ඇහුණා මිනිස්සු ඇය බල්බ් එක on කරලා නැති එක ගැන, එය ඇගේ මසුරු බව කියමින් චෝදනා කරමින් පාරේ යනවා. ඒ මොහොතේ ඇය යමක් තේරුම් ගත්තා.
ඇය සනීප වුණාට පස්සේ ඇය තීරණය කළා ඇය ඔවුන් වෙනුවෙන් කරමින් සිටි සියලුම අමතර දේ නතර කරන්න. නමුත් ඇයගේ යහපත් හදවත ආලෝකය නිවා දමන්න ඉඩ දුන්නේ නැහැ. මොකද ඒ මාවතේ අල්පයක් හොඳ මිනිසුනුත් ඇවිද යන බව ඇය දැකලා තිබුණා. ඇය ඉන්පසුත් දිගටම බල්බය දල්වා තැබුවා. ඒත් එතනින් පස්සේ කවදාවත් ඔවුන්ට එළිපත්තේ ඉදන් ගමනට සුබ පතන ඒ සුන්දර ගැහැනිය දකින්න ලැබුණේ නැහැ. ඒ ගෙදර ඉදිරි දොර නැවත ඇරිලා තියෙනවා ඔවුන් දැක්කේ නැහැ, ඉද හිට ඒ නිවස අසලින් යනවිට සිහින් සංගීත නාදය ගලා ආවත්, වැසුණු දොර නිසා ඔවුන්ට එය පැහැදිලිව ඇහුනේ නැහැ.
ඇය ඇගේ පාඩමත්, ඔවුන් ඔවුන්ගේ පාඩමත් ඉගෙන ගත්තා.
සමහරු අපි දෙන ආදරය අපේ දුර්වලකමක් විදිහට දකිනවා. අපි දෙන සමාව එයාලට ආපහුමත් වැරදි කරන්න ලැබෙන අවසරයක් බවට පත් කරගන්නවා. අපි නිහඬව ඉවසන හැම මොහොතක්ම අපිට රිදෙන්නේ නැහැ කියන්න සාක්ෂියක් විදිහට භාරගන්නවා. 'ආහ් මං මොනා කළත් එයා නම් දාල යන්නේ නෑ' කියලා හිතනවා.
Booomm!!
දවසක ඒ ඔක්කොම වෙනස් වෙනවා
කෙනෙක්ව තේරුම්ගන්න උත්සාහ කරන එකයි, එයාලගේ හැම බුල්ෂිට් එකක්ම දරාගෙන ඉන්න එකයි දෙකක් වස්තුවේ!
මට කෙනෙක්ට ආදරය කරන්න පුළුවන්. ඒත් ඒ ආදරය වෙනුවෙන් මගේ ආත්මගරුත්වය අහිමි කරගන්න මට ඕනේ නැහැ. මට කෙනෙක්ව මතක් වෙන්න පුළුවන්. ඒත් ඒ නිසාම එයාලට මගේ ජීවිතේට unlimited access දෙන්න මං සුදානම් නැහැ. මට කෙනෙක්ට සමාව දෙන්න පුළුවන්. ඒත් ආපහු ඒ මනුස්සයට මගේ ජීවිතයේ කලින් තිබුණු තැන දෙන්න මට බැහැ.
අන්තිමේදී මට කියන්න ඕනේ මෙච්චරයි...
මම මිනිස්සුන්ව මගේ ජීවිතෙන් ඉවත් කරන්නේ එහෙම පහසුවෙන් නෙමෙයි. මම එහෙම කරන්නේ මට පුළුවන් හැමදේම කරලා ඉවර වුණාට පස්සේ.
මම කෙනෙක්ට මගේ ජීවිතයේ ඉන්න අවස්ථාව දෙනවා. එයාලට ආදරය කරනවා. එයාල වෙනුවෙන් ඉන්නවා. ඒත් මගේ ජීවිතේ දොර ඕන ගොම ගොඩකට ඇරලා තියන්න මං සුදානම් නැහැ. මොකද මගේ ජීවිතේ කියන්නේ මට හුස්ම ගන්න තියෙන එකම තැන.
I can love you deeply & still choose a life without you.
ඒක ego එක නෙමෙයි. ඒ මගේ ජීවිතේ ගැන මගේ වගකීම.
ඒ නිසා කවදාහරි මම ඔයාගේ ජීවිතෙන් නිහඬවම ඉවත් වෙලා ගියොත්, මම කොච්චර ඉක්මනට වෙනස් වුණාද කියලා අහන්න කලින්, මම ඒ තීරණයට එන්න කලින් කොච්චර කාලයක් එකම තැනක ඔයා වෙනුවෙන් රැඳිලා බලාගෙන හිටියද කියලා මතක් කරගන්න.
මොකද...
සමහර වෙලාවට මිනිස්සු පිටවෙලා යන්නේ ආදරය නැති නිසා නෙමෙයි. තවදුරටත් ආදරය කර කර රැඳිලා ඉන්න එක තමන්ටම කරගන්න අපරාධයක් බව තේරුම්ගත්තට පස්සේ.
-Yesha Fernando-
