ලෝකයේ romantic philosophy ඇතුළේ තියෙන එක ජනප්‍රිය න්‍යායක් තමයි මේ Three Meeting Theory කියලා කියන්නේ. අපි මේක දන්නවා, අපිට මේක සිද්ද වෙලා තියෙනවා, නැත්නම් සිද්ද වෙන්න නියමිතව තියෙනවා. ඒත් සමහර වෙලාවට අපි ඒක හරියටම මෙන්න මේකයි කියලා දන්නේ නැහැ. අද සටහන ඒ ගැන
සමහර මිනිසුන්ව අපිට මුලින්ම මුණගැහෙන දවසෙදි එයාලව අපේ ජීවිතයට කොච්චර වැදගත් වෙයිද කියලා අපිට නිකමටවත් අදහසක් නොතියෙන්න පුළුවන්. එයාල යම් තැනක, මඟක, party එකක, වෙන යම් උත්සවයක, පාසලක, කාර්යාලයක , cafe එකක ඔය වගේ තැනක හදිසියේ මුණගැහිලා ඇස් විතරක් එකිනෙක ගැටිලා සමහරවිට හිනාවක් කතාවක්වත් නැතිව මඟහැරිලා යන නිකම්ම තවත් එක ආගන්තුක මුහුණක් වෙන්න පුළුවන්.
එයාල ඒ දවසේ අපිව පහුකරන් එහා මෙහා යන මිනිසුන් දහස් ගණනක් අතරින් තවත් එක් කෙනෙක් විතරයි. ඒ නිසාම එයාල ගැන මතක මාත්‍රයක්වත් අපි තුළ ඉතිරි වෙන්නේ නැහැ.
ඒත් කාලයක් ගියාට පස්සේ, හදිසියේම එයාල නැවත අපේ ජීවිතයට එනවා. අපිට එයාලව දෙවැනි වතාවට මුණ ගැහෙනවා.
නමුත් මේ වතාවේ එයා නිකම්ම ආගන්තුක කෙනෙක් නෙමෙයි. අපේ යටි හිත ඔවුන්ව හඳුනාගන්නවා. එනිසාම පළවෙනි හමුව වගේ දැනෙන දෙවැනි හමුව ඇතුළෙදි අපිට එයාලව අතිශය හුරුපුරුදු බව දැනෙන්න ගන්නවා. කෙටි කාලයකට ඒ හුරුපුරුදුබව එක්ක ඉක්මණින් බැඳීමක් ඇති වෙනවා. නමුත් ඒ දෙවැනි වතාව කියන්නේ වඩා හොඳින් හඳුනාගැනීම සඳහා වෙන එක්තරා විදිහක පරීක්ෂණයක් විතරයි. මේ දෙවැනි අවස්ථාව බොහෝ වෙලාවට නිර්මාණය වෙන්නේ වැරදි මොහොතවල්වල.
'වැරදි මොහොතක හරිම හදවත් පමා වී හැප්පීම ප්‍රේමයේ පුරුද්දය'
ඉතින් ඒ දෙවැනි හමුවීමේදිත් ඇතැම්විට අතිශය වේදනාකාරී ලෙස අපිට එකිනෙකා මඟහැරී යනවා. පරීක්ෂණය ඉවරද ? නැහැ! පරීක්ෂණය පටන් ගන්නේ එතැනින්. ඒ පරීක්ෂණය හරියට සමත් වුණොත් විතරක් තුන්වෙනි වතාවකදී අපිට එයාලව මුණ ගැහෙනවා. මෙවර සියල්ල යහපත්. නිවැරදි මිනිසුන් නිවැරදි වෙලාවක හමුවීමක්.
නමුත්... ඒ ඔයා, මම හිතන කෙනාම නොවෙන්න පුළුවන්.
හරි අපි මෙහෙම බලමු.
දැන් මේ න්‍යායට අනුව අපේ ජීවිතයේ ඉතාම සුවිශේෂී කෙනෙක්ව අපට ජීවිතේ විවිධ යුගවලදී තුන් වතාවක් මුණගැහෙන්න පුළුවන්. නමුත් ඒ මුණගැහීම් තුන එකිනෙකට වෙනස්.
පළමු වතාවේ ඔහු හෝ ඇය අපිට කිසිම විශේෂත්වයක් නැති කෙනෙක්.
දෙවැනි වතාවේ ඔහු හෝ ඇය අපිට අතිශය විශේෂ කෙනෙක්. ඒත් ඒක අපි එකිනෙකා වෙනුවෙන් සුදුසුම වෙලාව නෙමෙයි.
තුන්වැනි වතාවේ...එයාල වගේම අපිත් වෙනස් වෙලා. ඒ නිසා මේ වතාවේ මුණගැහීම වෙනස් වෙන්න පුළුවන්.
මෙහෙමයි, මේක විද්‍යාත්මකව ඔප්පු කළ දෙයක් නෙමෙයි. ඒ වෙනුවට මිනිසුන්ගේ ආදරය, අහිමිවීම, timing සහ personal growth ගැන කතා කරන සංකල්පයක්. විද්‍යාත්මකව ඔප්පු කරලා නැති දෙයක් කොහොමද අපේ හිතට මෙච්චර තදින් දැනෙන්නේ ?
හරි දැන් බලන්න මේ අවස්ථා තුනෙන් දෙකක් හරි ඔයාට ජීවිතේ ඇවිත් තියෙනවද කියලා?
පළවෙනි ඍතුව
මේ පළමු හමුවීම බොහෝවිට හරිම සාමාන්‍යයි. අපිට එයා කියලා කෙනෙක් ඒ යම් තැනකදී මුණගැහුනා කියලා විශේෂයෙන් මතක හිටින්නේ නැහැ. ඒ මොහොත ඉවර වෙනකොට එයා අපේ මතකයෙන් වියැකිලා යනවා. එයාල අපේ ජීවිත කතාවේ චරිතයක් වෙයි කියලා අපි දැනගෙන හිටියේ නැහැ ඒ නිසා මේ පළවෙනි හමුවීම හුඟක් වෙලාවට පේන්නේ අහම්බයක් වගේ.
දෙවැනි ඍතුව
මේක තමයි Three Meeting Theory එකේ වඩාත්ම වේදනාකාරී ඍතුව. මේ දෙවැනි වතාවේදී අපිට එයාලව හුරුපුරුදුව දැනෙනවා. හරියට this not our first lifetime together වගේ ගතියක්. එයාලගේ presence එක, එයාල දනවන උණුසුම, කතා කරන විදිහ, එයාල ළඟ ඉන්නකොට අපිට දැනෙන හැඟීම මේ හැමදේම වෙනස්. අන්න එතැනදී ආදරය හටගන්න පටන්ගන්නවා, මතක හදාගන්නවා,
ඒත්...
timing එක වැරදියි!
අපි එකිනෙකාට ආදරය කළාට එකිනෙකාව තෝරගන්න තවම සුදානම් නැහැ. බොහෝවෙලාවට දෙන්නම තමන්ගේ අතීත කතන්දරවල බර සහ වගකීම්වලින් තාමත් ගැලවිලා නැහැ. දෙන්නාගේ ජීවිත රැඳිලා තියෙන්නේ වෙනස් දිශාවල. නැත්නම් දෙන්නාම එකිනෙකාට ආදරය කළත්, එකිනෙකාට ආදරය කරන නිවැරදි විදිහ දන්නේ නැහැ. ඒ නිසා මේ දෙවැනි ඍතුවේදී සමහර සම්බන්ධතා අවසන් වෙන්නේ, 'අපි දෙන්නා වැරදි මිනිස්සු නෙමෙයි. ඒත් අපි මුණගැහුණේ වැරදි වෙලාවක.” වගේ කතන්දරයක් එක්ක. ඒ සිද්ද වුණු දේ හරිද වැරදිද කියලා කාටවත් නිශ්චිතව කියන්න බැහැ.
සමහර වෙලාවට ආදරය ඇතුළෙ ආදරයටත් වඩා බලවත් දෙයක් තියෙනවා. ඒ තමයි කාලය, ඒ හමුවීම සිද්ද වෙන කාලය!
මේ වගේ හමුවීම් වලදී අපි එකිනෙකා මුණගැහෙන්නේ අනෙකාව ලබාගන්න නෙමෙයි, අපිවත් දන්නේ නැතුව අපේ පැවැත්මෙන් අනෙකාව වෙනස් කරන්න, එයාලා තුළ තියෙන, අපි තුළ තියෙන ආදරයක් ඇතුළේ එකිනෙකාව තෝරගන්න ඉඩ නොදෙන බිය, සැක, අතීත වේදනාවන් එකිනෙකාට mirror කරවන්න. සමහර සම්බන්ධතා අවසන් වුණාට පස්සේ අපිට හිතෙනවා ' එතකොට ඒ හැමදේම, ඒ හැම හැඟීමක්ම බොරුවක්ද' කියලා
නැහැ!
සමහර මිනිසුන්ට අපේ ජීවිත ඇතුළේ නියමිත කාර්යය තමයි අපට යමක් උගන්වන්න එක, අපිට අපේම සීමාවන් හඳුනාගන්න ඉඩ හරින එක, අපි deserve මොනවගේ ආදරයකටද කියලා අපිට පෙන්නලා දෙන එක, අපිට ආදරය කරන කෙනෙකුට අපි ආදරය කරන්න ඕනේ කොහොමද කියලා හරියටම ඉගෙනගන්න ඉඩ අරින එක. අපි බය තනිකමට නම් ඒ තනිකමට මුණ දෙන්න ඉඩ හදන එක, අනෙකා මත තමන්ගේ සතුට උගසට තියන්නේ නැතුව තමන් එක්කම පුර්ණව සතුටින් ජීවත් වෙන්නේ කොහොමද කියලා ඒ සමුගැනීමේ වේදනාව ඇතුළේ අතපත ගගා ඉගෙන ගන්න අපිට ඉඩ හරින එක. මට මාවම ඔයාට ඔයාවම අපි තුළින්ම නැවත හොයාගන්න ඉඩ හරින එක.
ඒ නිසා බොහෝවේලාවට මේ දෙවැනි හමුවීමේ අරමුණ ඒ ඇති වෙන සම්බන්ධතාවය රැකගැනීම නෙමෙයි. නිවැරදිම තුන්වැනි හමුවීම සඳහා දෙන්නවම වෙනස් කිරීම. හැබැයි ඔයා හිතන දේම නොවෙන්න පුළුවන් මේ තුන්වෙනි හමුවීම...
තුන්වැනි ඍතුව: “මේ වතාවේ අපි දෙන්නම එකිනෙකාව තෝරාගන්න සූදානම්”
Three Meeting Theory එකේ ලස්සනම කොටස මේක. මේ තුන්වැනි හමුවීම සිද්දවෙන්නේ දෙන්නාම වෙන් වෙන්ව ජීවිතයේ යම් දුරක් ගිහින් අවසන් වුණාට පස්සේ. අතීතයෙන් යමක් ඉගෙනගෙන, තමන්ගේ වැරදි තේරුම් අරගෙන, තමන්ට ඇත්තටම අවශ්‍ය දේ දැනගෙන, ආදරය කියන්නේ බියක් දැනුනම පලා යෑම නෙමෙයි, ඕනෑම වාතාවරණයකදී එකිනෙකා වෙනුවෙන් සටන් කිරීම, එකිනෙකාව තෝරාගැනීම කියලා තේරුම් අරගෙන අවසන් වුණාට පස්සේ.
මෙතැනදී අපිට හමුවෙන්නේ කලින් කෙනාම නෙමෙයි. එකම ගඟ එක විදිහට දෙපාරක් ගලන්නේ නැහැ. අපිට කලින් තිබුණු සම්බන්ධතාවයට වඩා මේක වෙනස්. ගැඹුරුයි, නිහඬයි. Intense fireworks නැහැ, නමුත් සාමය, ආරක්ෂිත බව, ස්ථාවරත්වය සහ අඛණ්ඩතාවය තියෙනවා
හැබැයි ඛේදවාචකය තමයි මේ තුන්වැනි හමුවීම හැමෝටම එන්නේ නැහැ. එහෙම තමයි ජීවිතේ සාධාරණ නැහැ. මෙන්න මෙතනදී තමයි මේ theory එක ගැන අපි වැඩිපුර ප්‍රවේසම් වෙන්න ඕනේ.
Three Meeting Theory එක ලස්සනයි. මේ මොහොතට හිත සනසනවා. විශේෂයෙන් අපිට අහිමි වූ කෙනෙක්ව අපිට තවමත් ඕනේ වගේ හිතෙන වෙලාවක නම් මේ theory එක හරිම ආකර්ෂණීය වෙන්න පුළුවන්. 'අහ් දැන් නොවුණත් කවදාහරි ආයෙත් මුණගැහෙයි නේ ' කියලා හිතන්න මේකෙන් ඉඩක් හැදෙන්න පුළුවන්. ඒත් ජීවිතය කියන්නේ එහෙම නිශ්චිත පොරොන්දුවක් අපිට දෙන්න තරම් කාරුණික එකක් නෙමෙයි.
සමහර දෙවැනි හමුවීම් තුන්වැනි හමුවීමකට යන්නේ නැහැ!
දෙවැනි හමුව ඇතුළේ විඳපු වේදනා සහ කළකිරීම් ප්‍රබල නම් ඒ සමහර මිනිසුන් ආයෙත් කවදාවත් අපේ ජීවිතවලට එන්න නියමිත නැහැ.!
ඒක නිසා සමහරවිට “තුන්වැනි හමුවීම” කියන්නේ ඔහු හෝ ඇයම නැවත අපේ ජීවිතයට එන එක නෙමෙයි.
මට හිතෙන්නේ මේක තමයි මේ theory එකේ ලස්සනම දේ...
සමහරවිට තුන්වැනි හමුවීම කියන්නේ ඔහුව හෝ ඇයවම නැවත මුණගැහීම නෙමෙයි. එයාල නිසා වෙනස් වුණු ඔයාවම ඔයාට ආපහු මුණගැහීම. ඒ දෙවැනි හමුවීමෙන් පස්සේ ඔයා, මම සම්පුර්ණයෙන්ම වෙනස් වෙලා, ආදරය ගැන මෙතුවක් දරපු අදහස් වඩා පුළුල් සහ අවබෝධාත්මක සංසුන් අතකට වෙනස් වෙලා. ඔයාගේ මගේ ආත්ම ගෞරවය ගැන අනෙකා සතුවිය යුතු සීමාවන් ගැන ඔයා වඩා ස්ථාවර වෙලා. ඔයා හෝ මම අපිට නොගැළපෙන, වටිනාකම්, කාලය හෝ හැඟීම් අපි මත ආයෝජනය කරන්න සුදානම් නැති මිනිස්සුගේ ජීවිත ඇතුළේ ඉදන් ආදරය හෝ අවධානය බිංදුවක් වෙනුවෙන් තවදුරටත් සිඟමන් යදින්නේ නැහැ.
මේ මොහොතේ අනෙකාගේ අපහසු වාතාවරණය තේරුම් ගන්නවා කියන්නේ, අනෙකාගේ ඒ වාතාවරණය ඇතුළේ ඔයා කියන පුද්ගලයාගේ සතුට, ජීවිතය, හැඟීම්, අවශ්‍යතා දියවෙලා යන්න, නොසළකා හරින්න ඉඩ හරින එක නෙමෙයි කියලා ඔයත් මමත් ඉගෙන ගෙන අවසන්. ඔයාට ආදරය නොකරන, ඔයාව ලැයිස්තුවේ අන්තිමට දාන, ඔයාගේ හැඟීම් නොසළකා හරින කෙනෙකුට ඔයා තවදුරටත් ඔයාගේ වටිනාකම ඔප්පු කරන්න උත්සාහ කරන්නේ නැහැ.
ඔවුන්ගෙන් ඉගෙනගත් දේවල් එක්ක ඔයාට අවශ්‍ය ආදරය ගැන ඔයාට දැන් හරිම පැහැදිලි දැක්මක් තියෙනවා. ඒ තමයි ඒ දෙවැනි හමුවීම ඇතුළේ වෙනස් වුණු ඔයා, මම! දවසක මෙන්න මේ තුන්වැනි ඍතුව එළඹෙන්න නියමිත මොහොතක ඔයාට වෙනස්ම කෙනෙක්ව මුණගැහෙනවා.
ඒ කෙනා එක්ක ඔයාට දැනෙන්නේ නිදිමත දැනෙන තරම් සන්සුන් ආරක්ෂිත බවක්. ඔයා පොඩ්ඩක්වත් ඒ කෙනාව impress කරන්න, ඔයා නොවෙන කෙනෙක්ව perform කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඔයා ඔයා විදිහටම ඔවුන් ළඟ ඉන්නවා. අන්න ඒ මොහොතෙදි ඔයාට මෙන්න මෙහෙම හැඟීමක් දැනෙන්න නියමිතයි. 'අහ්... මම මෙච්චර කාලයක් බලාගෙන හිටියේ එයා එනකම් නෙමෙයි. මම බලාගෙන ඉදලා තියෙන්නේ මම මේ තරම් වෙනස් වෙනකම්. තවදුරටත් සහකරුවෙක්/ සහකාරියක් ගාව අනවශ්‍ය වටිනාකම් මවා පෙන්වන්න අවශ්‍ය නැති තරම් මං ශක්තිමත් සහ අව්‍යාජ වෙනකම්.'
සමහරවිට අන්න ඒක තමයි සැබෑම තුන්වැනි හමුවීම. ඔයාට එයාවත් ඒ වගේම ඔයාවමත් හමුවීම.
කෙනෙක් හොඳ මනුස්සයෙක් වෙන්න පුළුවන් හැබැයි ඒ මොහොතේ ඔහු හෝ ඇය ඔයාට හෝ මට හොඳ partner කෙනෙක් නොවෙන්න පුළුවන්. අපි කෙනෙක්ට ආදරය කරනකොට ඒක healthy relationship එකක් වෙන්නේ දෙන්නම ඕනෙම වාතාවරණයකදී, අමාරු කතාබහකදී මඟ නොහැර එකිනෙකාව තෝරාගන්න, එකිනෙකාගේ ඒ මොහොතේ හැඟීම් වෙනුවෙන් අවබෝධාත්මක වෙන තැනකදී විතරයි.
ඒ නිසා සමහර සම්බන්ධතා අවසන් වෙන්නේ ආදරය නැති නිසා නෙමෙයි. ආදරය තිබුණත්, ඒක පරිස්සම් කරගන්න දෙන්නාම එකවගේ සූදානම් නැති නිසා.
අන්තිමේදී අපේ ජීවිතවලට එන හැමෝම අපිව යම් විදිහකට වෙනස් කරලා යනවා. ඒ නිසා කෙනෙක් ඔයාගේ ජීවිතයෙන් ගියා නම්, ඔවුන් නැවත එනකම් ඔයාගේ ජීවිතය නවත්තගෙන බලාගෙන ඉන්න එපා. Three Meeting Theory එකේ ලස්සනම කොටස “තුන්වැනි වතාවටත් ඔහුව හෝ ඇයව මට හමුවෙනවනෙ ” කියන එක නෙමෙයි.
ඒ...,
තුන්වැනි වතාවේදී 'අපි දෙන්නම වෙනස්ම මිනිසුන් වෙලා ඉන්න පුළුවන්' කියන එක. මොකද අවසානයෙදි අපේ ජීවිතයේ ලස්සනම හමුවීම, අපි බලාගෙන හිටපු කෙනාව මුණගැහීම නෙමෙයි. අපිට ආදරය කරන්න ඉගෙනගත් අපිවම, අපි සුදුසු මොනවගේ ආදරයක් ලබන්නද කියලා ඉගෙනගත්ත අපිවම අපිට මුණගැහෙන එකයි.
'ගෙදරක' හැඟීම නැත්නම් 'ගෙදර ආවා' වගේ දැනෙන හුරුපුරුදු නිදහස් හැඟීම අපිට ඔවුන් තුළින් වගේම අපි තුළින්ම දැනෙන එකයි.
-Yesha Fernando-
