සාමාන්යයෙන් මම පොතක හෝ සිනමාපටියක හෝ ටීවී සීරීස් එකක කතාව ඇතුළේ හිරවෙන අවස්ථා හරි අඩුයි. ඒක බලලා රසවිඳලා ඉවර වුණාම ඒක ඉවරයි! සතුට වගේම දුකත් මහ කාලයක් අල්ලගෙන නොයින්න මං මාවම පුරුදු කළාට පස්සේ එහෙම යමක් ඉවර වුණාට පස්සේ ඒක එතනින් අතෑරලා දාන එක මට පහසු දෙයක් වුණා.
ඒත් මං මේ අද කියන්න යන කතාව කොච්චර ප්රබලව මාව අභ්යන්තරයෙන් හෙලෙව්වද කියනවනම්, මට බය හිතෙනවා මම ආපහු වඩා මෘදු, අනවශ්ය තරම් මෘදු මනුස්සයෙක් බවට පත්වෙයි කියලා. මොකද මේ කතාව බලන අතරතුරේදී, මං හදවතේ ග්ලැසියර් කරලා තිබුණු එක කොටසක ස්වල්ප නාය යෑමක් මට දැනෙන්න ගත්ත නිසා.
අනික් අතට මගේම මේ පැරඩොක්සික චරිත ස්වභාවය මටම තේරුම් ගන්න බැහැ. ඉතිං කොහොමද තව මනුස්සයෙක් මාව තේරුම් ගන්නේ? උදාහරණයක් විදිහට ගුණදාස කපුගේ කියන විශිෂ්ඨ ගායකයව මට කිසිසේත්ම ප්රිය නැහැ. ඔහුගේ එකම ගීතයකටවත් මං කැමති නැහැ. ඔහුගේ ගීත කොහෙහරි වාදනය වෙනවනම් මං earbuds ගහගෙන මං වෙන කැමති දෙයක් අහනවා. හේතුව ඔහුගේ ගායනයේ කිසිදු අඩුපාඩුවක් නෙමෙයි. ඒ මනුස්සයගේ හඬේ තියෙන බර, ශෝකය සහ වේදනාව මට දරාගන්න බැහැ. ඒක එක් ක්ෂණයකින් මාව තද අළු පාට මීදුමක ගිල්වලා, අප්රමාණ ශෝකී හැඟීම අතරමං කරවනවා.
සාහිත්ය පැත්තෙන් ගත්තත් චීන ජාතික ලේඛක බා ජින් ගෙ ලිවීම් මට කරන්නෙත් ඔය දේමයි. ඒ නිසා මං බා ජින් ගෙ ලිවීම් කියවීම අතහැරලා ගොඩක් කල්. හුඟක් වෙලාවට මම චීන සහ ජපන් ලේඛකයින්ගේ පොත් හිතාමතාම මඟහරිනවා. මොකද ඒවල මාව ග්ලූමි කරවන ඔය ශෝකය තියෙනවා.
ඒත් අනිත් අතට මං හරුකි මුරකාමි ට මාරම ප්රියයි. ඔහුගේ ලිවීම් තුළත් ජපන් ජාතික ලේඛකයින්ට පොදු ඔය ශෝකය සහ සංකාව තියෙනවා. හැබැයි ඒ තුළ පාඨකයාට හඹා යා හැකි තව මොකක්දෝ දේකුත් තියෙනවා. Orhan Pamuk ගත්තත් ඒත් එහෙමයි. ඔහුගේ පොත් හුඟක් වෙලාවට අවසන් වෙන්නේ අනන්තමය සාංකාවකින්. ඒත් ඒ තුළ තියෙන තුර්කිමය වර්ණවත් භාවය සහ මිනිස් ජීවිතවල කාව්යාත්මක සෞන්දර්යය මාව ඔහුගේ ලිවිම්වලට ආශක්ත කරවනවා. එතකොට මගේම ඔය පැරඩොක්සික ස්වභාවය මටම තේරුම්ගන්න බැරිව යනවා.
ඉතිං අද කතාව මේ දවස්වල Netflix series එකක් විදිහට දිවෙන Pamuk ගෙ අන්න එහෙම කතාවක් සහ ඒ තුළ මං කියවගත්ත ජීවිතයේ හැඟීම් ගැනයි.
The Museum of Innocence!
සමහර මිනිස්සු අපේ ජීවිතයෙන් යන්න යන්නේ ඇත්තටම සම්පුර්ණයෙන්ම අපෙන් වෙන් වෙලාම නෙමෙයි. එයාල වෙන්වෙලා යන්නේ අපේ දවස්වලින්, අපේ කාලයෙන්, අපේ මොහොතවල්වලින්. ඒත් එයාල අපේ මතකවල ජීවත්වෙන්න ගන්නෙත් ඒ වෙන්ව යෑම් එක්කමයි කියලා මං කිව්වොත් ඔයා ඒක විශ්වාස කරනවද?
ඔවුන් අතින් අල්ලපු කෝප්පයක්, සුවඳ විලවුන් බෝතලයක්, පොතක්, ඔවුන් අහපු සිංදුවක්, ඔවුන් ඇඳපු ඇඳුමක සුවඳක්, පරණ photo එකක්, නැත්නම් එක්ව කාලය ගතකරපු තැනක්... මෙන්න මේ විදිහට ඔවුන්ගේ මතකවලට මේ මොහොතේ අපේ භෞතික ලෝකය ඇතුළේ සම්බන්ධතා රැහැන් නිර්මාණය වෙනවා. ලෝකයට නම් ඒවල කිසිම වටිනාකමක් නැති වෙන්න පුළුවන්.
https://www.pinterest.com/pin/638174209716313347/
ඒත් අපිට?
අපිට ඒවා සමහරවිට සම්පූර්ණ ජීවිතයක්! එක්ව ගත කළ ජීවිතයක සජීවී සාක්ෂි! ඒවල වටිනාකම අමිලයි. අමිලවූ දේවල්, වටිනාකමක් නියම කරන්න අපහසු තරම් වටින දේවල් මිනිස්සු තැන්පත් කරන්නේ කෞතුකාගාර තුළ. මේ වගේ මතකත් අන්න එහෙමයි.
Orhan Pamukගේ The Museum of Innocence පාදක කරගෙන ගොඩ නැගුණු මේ කතාව නරඹද්දී අපිව ඇදිලා යන්නේ ඔන්න ඔය අහිමි වීම තුළ හිමි වූ කුඩා කුඩා අමිල වූ දේවල් දරාගෙන ඉන්න සංකාමය හැඟීම තුළට.
මේ කතාවේ Kemal කියන්නේ ඉස්තාන්බුල්වල ජීවත්වෙන ඉහළ සමාජ පන්තියක තරුණයෙක්. ඔහු ඒ වෙනකොටත් Sibel කියන ඔහු හා සමාන සමාජ ස්ථරයේ ඉන්න සුන්දර යුවතියක් සමඟ ආදරෙන් බැඳිලා ඇය සමඟ විවාහ වෙන්න සූදානම් ඉන්නේ. ඒ සියල්ල සුදානම් වෙමින් තියෙන අතරෙයි සූරියකාන්ත මල් යායක් වගේ Fusun ඔහුගේ ජීවිතයට එන්නේ. ඒක සම්පුර්ණ අහඹු සිදුවීමක්
ඇය සමඟ ඔහුට ඇතිවන සම්බන්ධය සරල ආදර කතාවක් නෙමෙයි.
ඒක ආශාවක්...
ඇබ්බැහියක්...
අහිමිවීමක්...
ඒ වගේම, අවසානයේ මතකය සමඟ සිරව ජීවත් වීමක්...
Kemal ඔහුගේ සමාජ තත්වය, පවුල්වල ගෞරවය නැතිකරගන්න බයයි. ඔහුට එච්චර ලොකු අවදානමකට මුහුණ දෙන්න තරම් ශක්තියක් නැහැ. ඔහු සිහින දකින සමාජ ගෞරවය සහිත පවුල වෙනුවෙන් ඔහු Sibel එක්ක තියෙන විවාහ ගිවිසුම අවලංගු කරගන්න කැමති නැහැ. ඒ වෙනුවට ඔහු කරන්නේ අවසාන මොහොත වෙනකම්ම ඇත්ත වගේ බොරු කියමින් , දිව්රමින් Sibel සමඟ කිසිදු කායික හෝ මානසික සම්බන්ධයක් නැති බව කියමින් Fusunව රවටමින්, Fusun තවදුරටත් තමන්ගේ ජීවිතය තුළට ගෙනෙන සතුටේ, අනුරාවේ, පැහැයන්ගේ සතුට විඳින එක. ඒ අවසාන බොරුව හෙළිවෙන මොහොතෙදි Fusun කොතරම් බිඳී යනවද කියලා ඔහුට අවබෝධයක් ලැබෙන්නේ නැහැ ඇය ඔහුගේ ජීවිතයෙන් අතුරුදන් වී යනකම්ම. ඒ වගේම ඔහු ඇයට කොතරම් ආශක්ත වෙලා ඉදලද කියන අවබෝධය ඔහුට ලැබෙන්නෙත් ඇයගේ හැර යාමෙන් ඔහුගේ ජීවිතය තුළ ඇතිවන හිස් බව නිසයි.
එතනින් එහා ඔහුට සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් වෙනවද ඔහුට සුව පහසු ලෝකය තුළ?
නැහැ, Fusun ඔහුට obsession එකක් බවට පත්වෙනවා. ඔහු ඇයට යන්තම් හෝ සම්බන්ධ වූ කුඩා කුඩා දේවල් එකතු කරන්න පටන් ගන්නවා.
කොණ්ඩ කටුවක්,
කරාබු යුගළක්,
ලිප්ස්ටික් කූරක්,
සිගරට් කොට හාරදහස් ගණනක්,
ඇය අතින් ඇල්ලූ කෝප්පයක්,
ඇය අතගෑ ඇයට අයත් ඕනෑම වස්තුවක්..
https://www.pinterest.com/pin/498281146277022223/
වෙන කෙනෙකුට පැරණි, පාවිච්චි කළ බඩු විය හැකි ඒ හැමදේම Kemalට මිල කළ නොහැකි මතක. ඒ හැම භාණ්ඩයක්ම ස්පර්ශ කරනකොට ඔහුට දැනෙන්නේ Fusun ඔහුව ස්පර්ශ කරනකොට ඔහුට දැනෙන ප්රේමය, සුවපහසුව, අනුරා මොහොතක ඇය දෙනෙත් පියාගන්නා ආකාරය, ඇයගේ සමේ සිනිදු බව...
ඒ අහිමිවීමෙන් පස්සේ නැවත ඔවුන් හමුවෙනවා, නමුත් කතාව සුඛාන්තයක් වෙන්නේ නැහැ. මොකද ඔහුගේ අනවරත බොරු සහ ද්රෝහී වීම් හමුවේ ඇය ඇය නොවන කෙනෙක් බවට බිඳී ගිහින් අවසන්, ඇයගේ මෘදු හදවත තුළ ඒ කාලය පුරාවට ඇයගේ විඳවීමේ, තරහවේ ගිනි පුපුරු සැඟවිලා තියෙනවා.
https://www.pinterest.com/pin/1083608360365403077/
කතාවේ ඉතිරි ටික මම කියන්න යන්නේ නැහැ. කතාවේ ඔවුන්ගේ මුල්ම අනුරාගී මොහොතේදී ඇය සිහියත් අසිහියත් අතර සුවිසල් සූරියකාන්ත මල් යායක් දකිනවා, කතාව අවසානයේදීත් ඇය ඒ සුවිසල් සූරියකාන්ත මල් යාය හැබැහින් දකිනවා ඒත් සුන්දරව නෙමෙයි.
කොහොමවුණත් කෙමාල් ගැන මට අල්ප මාත්ර තරහවක් ඇතිවෙන්නේ නැහැ. මොකද ඔහු තුළ මම, Love in the Time of Cholera තුළ හිටපු අසහාය ප්රේමවන්තයා ෆ්ලොරෝන්තිනෝ අරීසා ගෙ අසාමාන්ය මඟ බැලීමත්, The Bad Girl තුළ හිටපු අවිහිංසක ප්රේමවන්තයා රිකාදො ගෙ අසාමාන්ය ඉවසීම සහ නොසිඳෙන ප්රේමයත් දකිනවා. කොහොමකළත් යුද්ධයෙදිත් ප්රේමයේදීත් අසාධාරණ යැයි කිව හැකි කිසිවක් නැහැ!
The Museum of Innocence!
https://www.pinterest.com/pin/984529168554517418/
අපි සාමාන්යයෙන් museum එකකට ගිහින් බලන්නේ අමිල වූ ඉතිහාසය, පුරාවස්තු, මියගිය මිනිස්සුන්ගේ ජීවිතවලින් ඉතිරි වුණු වටිනා කියන දේවල්. ඒත් Kemalගේ museum එකේ තියෙන්නේ ඔහුට පමණක් වටින දේවල්. ඒ කියන්නේ, ඔහු මේ ඉතිහාසයක් සංරක්ෂණය කරනවා එහෙම නෙමෙයි. ඔහු සංරක්ෂණය කරන්නේ තමන් අතිශය ප්රේම කළ ගැහැනියගේ මතක.
සමහරවිට ආදරයේදී අපිට කරන්න පුළුවන් ලොකුම දේත් ඒක වෙන්න ඇති. හැමදේම අල්ලාගෙන ඉන්න එක නෙමෙයි. ඒ මොහොතේ සතුට තිබුණා කියලා අමතක නොකරන එක. හැබැයි මේ කතාවේ තවත් පැත්තක් තියෙනවා. මතක අපිව සනසනවා වගේම මං අර ගියපාර ලිපියේ ලියුවා වගේම මතක අපිව අපේම ජීවිත ඇතුළේ සදාකාලයටම හිර කරන්නත් පුළුවන්. එහෙම අතීතය අතහැරලා ඉදිරියට යන්න බැරි මිනිහෙක්ට මතක කියන්නේ කෞතුකාගාරයක් වෙන්න පුළුවන්.
ඒක ලස්සනයි, නිහඬයි, ඔවුන් වරක් අප සමඟ හිටියා කියන සුවපහසුව දනවන සුළුයි.
ඒත් ඒ කෞතුකාගාරයේ දොර වහලා ඒ ඇතුළේ ඉන්නෙ අපිම නම්? එතකොට ඒක කෞතුකාගාරයක්ම නෙමෙයි. ඒක ඔවුන්ගේ මතක තුළ ස්ව කැමැත්තෙන් හිරවෙන්න අපිම හදාගත්ත හිරගෙයක්.
ඒ නිසා The Museum of Innocence මට නම් සාමාන්ය ආදර කතාවකට වඩා, obession of love ගැන කියන, මතක ගැන කතාවක්.
අපිට අහිමි වුණු මිනිස්සු ගැන, අපිට අමතක කරන්න බැරි දේවල් ගැන, අපි තවමත් අරන් යන මතක කැටිවුණු පුංචි පුංචි වස්තුවලින් හැදුණු පුංචි museum එකක් අපේ ජීවිතවලත් තියෙනවා. අපි ඒකට වෙන කාටවත් ටිකට් දෙන්නේ නැහැ. අපි විතරයි ඒක ඇතුළට යන්නේ එන්නේ.
එතන තියෙන්නේ පරණ photo එකක්, කෙනෙක් එවපු message එකක්, පරණ perfume එකක සුවඳක්, හුරුපුරුදු coffee shop එකක්, එක්තරා සිංදුවක්, එක්තරා දවසක් වගේ කිසිම කෙනෙකුට විශේෂයෙන් විස්තර කරන්න බැරි තරම් සාමාන්ය දේවල්.
ඒත් අපි දන්නවා ඒවා අපිට සාමාන්ය දේවල් නෙමෙයි. ඒවා අපේ ජීවිතයේ 'එක් සම්පුර්ණ යුගයක්'. ඒ නිසා ඒවගේ විශේෂ මතකවලින් හදපු කෞතුකාගාරයක් අපිට තියෙන එකේ කිසි වැරද්දක් නැහැ. වැරැද්ද වෙන්නේ අපි ඒ ඇතුළේ හිරවෙලා අපේ සම්පුර්ණ ජීවිතයම ඒ තුළට කොටු කරගත්තොත්.
කොහොමවුණත් ඒ තීරණය අයිති ඔයාට! මට නෙමෙයි!
බලලා නැත්නම් The Museum of Innocence බලන්න. අද මට කියන්න තියෙන්නේ එච්චරයි.
-Yesha Fernando-
