මං කාලෙක ඉදන් බොලිවුඩ් නිර්මාණ බලනවා සෑහෙන අඩුයි. මේක බලන්න හිතුවේ Vikrant Massey ට ආස නිසා. එයාට මං ආස වුණේ Haseen Dillruba සහ Phir Aayi Hasseen Dillruba කියන crime fiction and thriller movies දෙක බලලා. අන්තිම නෝන්ජල් අහිංසක මනුස්සයෙක්ගේ ඉදන් psychopath කෙනෙක් වෙනකනුත් එතනින් ආපහු අතිශය romantic පිරිමියෙක් වෙනකනුත් ඒ සිනමාපට ද්විත්වය ඇතුළේ ඔහුගේ අපූරු රඟපෑම නිසාමයි මේ අලුත් Netflix series එක Musafir Cafe ත් බලන්න හිතුවේ.
සමහර කතා අපි screen එකේ බලලා ඉවර වෙනවා. ඒත් හිත ඇතුළෙන් ඒවා ඉවර වෙන්නේ නැහැ. අර පෙළඹවීම මත හදිසියෙන් බලන්න ගත්තත් Musafir Cafe අයිති වුණේ අන්න ඒ ගණයට. Musafir Cafe බලලා ඉවර වෙලා screen එක හිස් වෙනකොට මට දැනුණේ series එකක් ඉවර වුණා කියන හැඟීම නෙමෙයි. මම මගේම වෙලා තිබුණු ජීවිතයක් ඇතුළේ ආපහු ටික වෙලාවක් ජීවත් වෙලා ආවා වගේ හැඟීමක්.
Netflix එකේ series එකක් play කරන හැම වෙලාවෙම මම බලාපොරොත්තු වෙන්නෙ හොඳ story එකක්, cinematography එකක්. ඔව් Musafir Cafe එකේ ඔය ඔක්කොම තිබුණා. හැබැයි ඒ ඔක්කොටම වඩා, මේ series එකේ මාව ඇතුළාන්තයෙන් අවුළුවන මතකයන් තිබුණා. 1st season එක ඉවර වුණත් ඒක ඉවර වුණේ නැහැ. ඒක තවමත් මගේ හිතේ සැරින් සැරේ play වෙනවා.
හැමෝගෙම ජීවිතේ එක තැනක තියෙනවා mapsවල ලකුණු වෙලා නැති, එතනට යන්න reservation එකක් අවශ්‍ය නැති cafe එකක්. සමහරවෙලාවට හදවතට ගොඩක් මහන්සි දවසට අපි නොදැනුවත්වම ඒ වගේ අපිට සමීප ඒ වගේ තැන්වලට ඇවිදගෙන යනවා. අපි එතනට යන්නෙ කෝපි එකක් බොන්නම නෙවෙයි. හිත ටිකක් බිම තියලා සැහැල්ලු වෙලා එන්න. නොකියපු කතා ටිකක් ඒ වාතලයට හුස්මකින් නිදහස් කරලා එන්න. මොහොතකට අපි තුළින් අපේම එක යුගයක් දකින්න.
මේක ලොකු twists වලින් පිරුණු series එකක් නෙවෙයි. Episode එකක් ඉවර වෙන හැම වෙලාවෙම 'ඊළඟට මොනවා වෙයිද?' කියලා හුස්ම අල්ලගෙන ඉන්න වෙන විදිහේ කතාවකුත් නෙවෙයි. මේක 'ඇයි මේක මෙච්චර ඇත්ත වගේ දැනෙන්නෙ?' කියලා හිතෙන කතාවක්.
ඒකේ characters කිසිසේත්ම perfect නැහැ. ඔවුන්ටත් වැරදීම් තියෙනවා, නිහඬව අඬන දරාගන්න මොහොතවල් තියෙනවා, සදාකාලික miss වීම් වගේ දැනෙන නැවත හමුවීම්, එකිනෙකාගේ දෑත් අතරට එක් වරක් හෝ නැවත දිව ඒම් තියෙනවා. මේ series එක පුරාම cinematic moments වලින් පෙන්නන්නේ ජීවිතේ එදිනෙදා නිහඬබාවයන් ඇතුළේ අපි හැමෝම ඇතුළේ දරාගෙන යන බර හැඟීම්. හමුවීම්, වෙන්වීම්, ආයෙත් පටන් ගන්න පුළුවන් කියන පුංචි බලාපොරොත්තුව.
ඒ නිසාම ඒ අය screen එකේ characters විතරක්ම නොවී, කවදාහරි අපිට ඇත්තටම මුණගැහුණු මිනිස්සු වගේ දැනෙනවා. ඒත් බලනකොට ඒ අපිම තමයි. ඇත්තටම මට නම් ඒ characters තුනම මං තුළිනුත් මං ආදරේ කරපු මිනිස්සු තුළිනුත් හමුවෙලා තියෙනවා. සමහර series බලද්දී අපි characters එක්ක බැඳෙනවා. මේ series එක බලද්දී මට දැනුණේ මම characters එක්ක වගේම ඒ atmosphere එකත් එක්කත් බැඳෙනවා කියලා.
කෝපි කෝප්පයක් උඩින් නැගෙන සුවඳවත් දුම, කවුළුවකට එළියෙන් වැටෙන වැස්ස, story telling moment එකක්, නිහඬකම්, ගැඹුරු බැල්මවල්, අඩුවෙන් කියන වචන, කියන්න බැරි හැඟීම්...සමහර වෙලාවට එක බැල්මක් වචන දහයකට වඩා ලොකු කතාවක් කියන්න පුළුවන් කියලා මතක් කරපු විදිහ. සමහර නිහඬතාවයන් ඇතුළේ අවුරුදු ගණන් පවා ආදරය තවමත් හුස්ම ගන්න බව පෙන්නලා දුන්නු විදිහ...
අපි ජීවත් වෙන්නේ ලොකු ලොකු සිදුවීම් අතර නෙමෙයි. මේ වගේ පුංචි මොහොතවල් අතර. Musafir Cafe ඒ පුංචි මොහොතවල ලස්සන අපිට ආයෙත් පෙන්නනවා.
මම හිතන්නේ අපි හැමෝම 'Musafir' (traveller) කෙනෙක්.
මිනිස්සුන්ගෙන් මිනිස්සුන්ට, නගරයෙන් නගරයට, ආදරයකින් තවත් ආදරයකට, අපි හැමෝම මේ ඉන්නේ මං දවසකුත් ලිව්වා වගේ සංචාරයක.
ඒ ගමනේදී සමහර මිනිස්සුන්ට අපි ගාවත් අපිට ඔවුන් ගාවත් නවතින්න වෙන්නේ ඉතා කෙටි කාලයකට විතරයි. ඒත් සමහරු අපේ සිහින තමන්ගේ සිහින කරගෙන අපිත් එක්ක ජීවිත කාලෙම ඇවිදන් යන්න උත්සාහ කරනවා. තවත් සමහර අය තමන්ගේ සිහින වෙනුවෙන් අතරමඟදී අපෙන් සමු අරන් යනවා. ඒත් ඔවුන් ගිය පාරේ ඔවුන්ගේ සුවඳ අපිට ඔවුන්ගේ අත් අකුරින් ලියපු චුටි සටහන්වල, අත්සන් කරලා දුන්නු පොතක, නැත්නම් කුරුටු බලියක, පොත් සාප්පුවක, පුස්තකාලෙක මතකෙක, විස්කි පුරපු හැන්දෑවක, අනුරාග අඩ අඳුරු මොහොතක මතකෙක හිරවෙලා සදාකාලෙටම අපි ළඟ රැඳෙනවා. Musafir Cafe මට මතක් කළේ ඒ මතක සුවඳ.
ජීවිතේ සමහර සමුගැනීම්වලට නිශ්චිත අවසානයක් නැහැ. සමහර ප්‍රශ්නවලට උත්තර නැහැ, තියෙන්නෙ ඒ ප්‍රශ්නයත් එක්කම ජීවත් වෙන එක විතරයි. Musafir Cafe මට මතක් කළේ ඒක. ඒ වගේම කොතනකදී හරි අපි මේ හැම මතකයක්ම, බරක්ම නිහඬවම දරාගෙන හරි තමන් තමන්ව, තමන්ගේ සිහිනය, passion එක හොයා ගන්න ඕන කියන කතාන්දරය.
Series එකක් හොඳද කියලා මම දැන් මනින්නෙ IMDb rating එකෙන්වත්, trending list එකෙන්වත් නෙවෙයි. ඒක ඉවර වෙලා දවස් දෙක තුනකට පස්සෙත්, කිසිම හේතුවක් නැතුව එක scene එකක් මගේ හිතට එනවා නම්... දවසකට පාරක්වත් ඒ soundtrack එක හිත ඇතුළේ ඇහෙනවා නම් ඒ series එක මගේ අභ්‍යන්තරයේ ලැගුම් අරන් ඉවරයි.
ඒ නිසා මේ series එක මට entertainment කියන category එකකට වඩා වැඩි දෙයක්. මේක හරියට සන්සුන් හවසක coffee shop එකක් ඇතුළේ ඉදන් ලියපු ආදර ලියුමක් වගේ. ඉක්මනින් කියවලා ඉවර කරන්න බැරි, නැවත නැවතත් කියවන වචනයක් ගානේ හුස්ම සුවඳක්, අතීතයේ ලස්සන පුංචි පුංචි මොහොතවල්, හාදු, ආදරය මතක් කරවන ලියුමක් වගේ.
පළවෙනි season එක ඉවරයි, මුළු series එකම විනාඩි 25-30 ගනනේ වෙන episodes අටයි. Overall series එකම දිවෙන කාලය පැය 4 1/2 කට අඩුයි. දවසින් බලලා ඉවර කරන්න පුළුවන්. ඒත් Musafir cafe එකේ දොර තවමත් මගේ හිතේ ඇරිලා තියෙනවා.
සමහර තැන්වලින් අපි එළියට එනවා. සමහර තැන්වල, අපි සදාකාලිකවම අපේ හදවතේ කොටසක් තියලා එනවා.
ජීවිතය අපිට උගන්නන්නේ අතරමඟින් තමන්ගේ හීන වෙනුවෙන් අතහැර යන අයට වඩා අපේ හීන එයාලගේ කරන් සදාකල් නවතින්න ඉඩ ඉල්ලන මිනිස්සුන්ට ඉඩ දෙන්න කියලා. ඒත් දෙන්නෙක් අතර chemistry එක කියන්නේ මාර දෙයක්. ඒ නිසාම අපිට සියල්ල තිබුණත් යමක් අඩු බව දැනෙන miss වීම, අපිත් නොදැනුවත්වම හදවත තුළ සදාකල් ඔවුන් වෙනුවෙන් කොටසක් ඉතිරි කරගෙන ඉදීම වගේ දේවල් වෙන්නේ මේ මඟින් හැර යන මිනිස්සු වෙනුවෙන් වෙන්න පුළුවන්. ඒක තමයි ඒ ප්‍රේම රසායනයේ විදිහ.
ජීවිතේ එක එක කාලවලදි මං 'සුධා' කෙනෙක් වෙලා ඉදලා තියෙනවා, 'චන්දර්' කෙනෙක් වගේම 'ප්‍රීති' කෙනෙක් වෙලා ඉදලා තියෙනවා. ඒ හැම භූමිකාවක් ඇතුළෙම ඉතුරු වුනු ආදරේ, සියල්ල තිබුණත් යමක් අඩුයි කියන යමෙකුව සදාකාලයටම miss වීමේ හැඟීම, අනෙකා වෙනුවෙන් මගේ සිහින, කාලය, කැප කිරීම, වගේම මගේ සිහින සහ සාමය වෙනුවෙන් ඔවුන්ව හැර ඒමේ වරදකාරිත්වයේ හැඟීම් මං මං තුළම දරාගෙන මේ සංචාරයේ ඇවිදගෙන යනවා.
ඇතැම්විට මගේ මතක දරාගත් යමෙක්, දෙන්නෙක්, තුන්දෙනෙක් ඒ විදිහටම මේ සංචාරයේ ඇවිදගෙන යනවා ඇති. අපි නැවත එක් වතාවකට හෝ හමුවෙලා එකිනෙකාගේ දෑත් අතරට දුවගෙන එන්න නියමිත ඇති, නැතිනම් සදාකාලයටම මඟහැරී යන්න නියමිත ඇති.
ඒ කොහොම වුණත් මේ මුළු සංචාරය පුරාම මගෙන් කොටසක් ඔබ තුළත්, ඔබෙන් කොටසක් මා තුළත් තවමත්, හැමදාමත් අපි රැගෙන යන්න නියමිතයි.
මං මේ හැඟීමට ගළපන්න මෙතැන මේ සටහන අවසන් කරන්න සිංදුවක් හෙව්වා. ඒත් මට ඒක හම්බුනේ නැහැ ඒ වෙනුවෙන් සමාවෙන්න.
-Yesha Fernando-
