ඔබව මරා දමන්නට තරම් ප්‍රබල වූ නමුත් ඔබව මරා නොදැමූ ඒ මරණීය වේදනාව ඔබට කාර්ල් යුං, නීට්ෂේ සහ ඒබ්‍රහම් හික්ස් හඳුන්වා දෙයි. එම වේදනාව ඔබට කවි, සිතුවම්, කලාව, තනි සංචාර සහ දෙවියන් හඳුන්වා දෙයි.
එමෙන්ම එම වේදනාව ඔබට ඔබගේම අභ්‍යන්තරයේ අඳුරු, දුර්වල හෝ රකුසු පැතිකඩ දකින්නටත්, මමත්වයෙහි මරණය (Ego death) අත්විඳින්නටත්, ඔබගේම ස්නායු පද්ධතිය ක්‍රියා කරන්නේ කෙසේද සහ යථා සිහිය පවත්වා ගන්නේ කෙසේදැයි හඳුනාගන්නටත් ඔබට ඉඩ සලසයි. එම වේදනාව ඔබගේම අනුරාගික ආශාවන් පාලනය කරගන්නේ කෙසේද හා කායිකව අනිකාට අපගේ ශක්තියට ඇතුළුවීමට හැකි කෙසේද හෝ ශක්ති හුවමාරුවක් (Energy transfer) සිදුවන්නේ කෙසේදැයි ඔබට හඳුන්වා දෙයි. එම වේදනාව, ශක්ති කලාප සහ ශක්ති සහ සිතුවිලි සංක්යාත සුසරවීම් ගැනද, හුදෙකලාව සහ හිස් බව පිළිබඳවද, ගුප්ත අධ්‍යාත්මිකත්වය සහ රසායන විද්‍යාවේ ආදර හැසිරීම පිළිබඳවද, මානසික ප්රක්ෂේපණ සහ අහඹු සිදුවීම්වල සමපාතවීම පිළිබඳවද, අප නොදැන සිටිමුත් අප තුළ නිදන්ගතව තිබූ පරම්පරාගත මානසික කම්පන සහ විවිධ කාලරේඛා හරහා ඇවිද යාම ගැනද, සංකේතවාදය ගැනද ඔබට උගන්වයි.
අවසානයේ, ඔබව මරා දමන්නට තරම් ප්‍රබල වූ නමුත් ඔබව මරා නොදැමූ ඒ මරණීය වේදනාව ඔබට ඔබගේම ස්වරූප හතක් හඳුන්වා දෙයි.
මං මේ පරිවර්තනය කරලා තියෙන්නේ ඊයේ පෙරේදා දවසක මගේ මිත්‍රයෙක් මට එවපු reel එකක තිබුණු අදහසක්. හැබැයි ඒක කියවලා ඉවර වුණාම මම කොළයක් අරගෙන මෙතන තියෙන දේවල් ටික tick කරගෙන ගියා. විශ්වාස කරනවද එතනින් තවමත් මගේ අධ්‍යනය සම්පුර්ණ නැත්තේ ගුප්ත අධ්‍යාත්මිකත්වය, විවිධ කාලරේඛා හරහා ඇවිද යාම සහ ශක්ති සහ සිතුවිලි සංක්යාත නිසි ලෙස හසුරුවා ගැනීම කියන තුන සම්බන්ධයෙන් විතරයි. මගේ ජීවිතයේ මං මුහුණ දීලා තියෙන මරණීය වේදනාවන් කිහිපයක්, ඉතිරි සියල්ල විටින්ව විට මට හඳුන්වලා දීලා තියෙනවා.
මරණයේ නිම්නය පෙනෙන නොපෙනෙන මානයට මාව අරගෙන ගිහිපු ඒ වේදනාවන් ඒ මරණීය අළු පැහැ සංචාරය අතරතුරදී මට මං කිසිදවසක විශ්වාස නොකළ දෙවියන් සහ යක්ෂයාත්, මගේම විවිධ ස්වරූපත් මට හඳුන්වලා දීලා තියෙනවා. Shadow works, Ego death, mirror contracts, energy transfers, ancestral traumas, void, anxiety වගේ මේ ලයිස්තුවේ ඇති නැති බොහෝ දේවල් මට හඳුන්වලා දුන්නෙත්, ඒවා අධ්‍යනය කරන්න සහ ජීවිතයේ පාලනය අතට ගන්නත් කියලා දුන්නේ ඒ මරණීය වේදනාවන්ම තමයි.
මං විශ්වාස කරනවා මලින් ඉපදිලා, මලක් උඩ මිය යන්න නියමිත දිවයම්ය වාසනාවක් අරන් ඉපදුණු අල්ප මිනිස්සු ගණනක් හැරෙන්න අනිත් හැම මනුස්සයෙක්ම ජීවිතේ එක වතාවකදී හරි 'මේ වේදනාවත් එක්ක මට තවදුරටත් ජීවත් වෙන්න බැහැ' කියන ජීවිතය මරණයේ සීමාවට තල්ලු වෙන තරම් දරුණු වේදනාවකට මුහුණ දීලා තියෙනවා හෝ මුහුණ දෙන්න නියමිතයි කියලා. ඒ මනුස්සයගේ ජීවිතේ වඩාත්ම ආලෝකමත් කාලය එළඹෙන්නේ ඔන්න ඔය මරණීය වේදනාව හරහා ඇවිදගෙන යන මූසල අළු පාට සංචාරය සහ ඒ අතරතුර හඳුනාගත යුතු මං ඉහත සඳහන් කළ සියලු දේ හඳුනාගත්තට පස්සේ.
අන්න ඒ නිසාම මං විශ්වාස කරනවා හැම මනුස්සයෙක්ම ජීවිතේ එක වතාවකදී හෝ ඔබව මරා දමන්නට තරම් ප්‍රබල වූ නමුත් ඔබව මරා නොදමන, ඒ වෙනුවට ඔබට ජීවිතය, ආදරය සහ අධ්‍යාත්මය ගැන ඔබ නොදත් සියලු දේ කියාදෙන ඒ මරණීය වේදනාව විඳිය යුතුයි කියලා.
ඒ විඳවමින් ජීවත් වෙන්න නෙමෙයි, විඳවීමේ උපරිමයේදී මනුෂ්‍යත්වය තුළදීම දිව්‍යත්වයේ දොරටුවට තට්ටු කරන මාර්ගය හඳුනාගන්නයි.
ඇත්තටම අපි ජීවිතයේ වැඩි කාලයක් ගත කරන්නේ අපි කවුද කියන ප්‍රශ්නයට උත්තර හොයන්න නෙමෙයි. අපි කවුද කියලා අපිටම ඔප්පු කරගන්න, අපි ආදරය කරන්න ඕනේ කාටද , එයාලට අපිව කොයිතරම් වටින්න ඕනෙද , අනිත් අය අපිව දකින්නේ කොහොමද කියන කාරණා මත අපි අපේ අනන්‍යතාවය ගොඩනඟා ගන්නවා. නමුත් ජීවිතයේ එක්තරා මොහොතකදී මේ හැම බාහිර නිර්වචනයක්ම එකින් එක කඩා වැටෙන්න පටන් ගන්නවා.
අපි ආදරය කරපු කෙනෙක් අපිව ප්‍රතික්ෂේප කළාම, අපි විශ්වාස කරපු කෙනෙක් අපිව රැවට්ටුවම, අපි ජීවිතය පුරා ගොඩනඟා ගත් යම් සම්බන්ධතාවක් හෝ අනන්‍යතාවක් එක මොහොතකින් අහිමි වුණාම, අපිට අහිමි වෙන්නේ ඒ පුද්ගලයා හෝ ඒ ජීවිතය විතරක් නෙමෙයි. ඒ පුද්ගලයා එක්ක අපි ගොඩනඟා ගත්ත අපේම එක්තරා ස්වරූපයකුත් අපට අහිමි වෙනවා.
අන්න ඒ වෙලාවට තමයි Shadow Work පටන් ගන්නේ.
අපි සාමාන්‍යයෙන් අපේ හොඳ කොටසටයි ආදරේ කරන්නේ. අපි අපේ කරුණාව, අවංකකම, පරිත්‍යාගශීලී බව, ආදරය කිරීමේ හැකියාව ගැන සෑහෙන ආඩම්බර වෙනවා. 'මං වගේ කෙනෙක් නම් ආයේ එයාට හම්බෙන්නේ නැහැ.' කියලා හිතනවා. නමුත් අපේ ඇතුළේ තියෙන ඊර්ෂ්‍යාව, පළිගැනීමේ ආශාව, පාලනය කිරීමේ අවශ්‍යතාව, අනාරක්ෂිතබව, ප්‍රතික්ෂේප වීමේ බය සහ අනුන්ගෙන් පිළිගැනීමක් ලබාගැනීමේ අධික ආශාව කියන දේවල් එක්ක මුහුණට මුහුණ කටයුතු කරන්න අපි කැමති. අපේ ඇතුළෙම තියෙන ඒ රාස්ස කොටස් ටික අපිටම පේනවට අපි බයයි. ඒත් මේ වගේ මරණීය වේදනාවකදී අපිට අකමැත්තෙන් වුණත් අපේ ඒ අඳුරු පැතිකඩ අඳුනගන්න සිද්ද වෙනවා. සමහර වේදනාකාරී සම්බන්ධතා අපිට අනිත් මනුස්සයා ගැන විතරක් නෙමෙයි අපි ගැනම හුඟක් දේවල් උගන්වනවා. අපි අනෙකා තුළ දකින්නේ ඇත්තටම ඔහුගේ හෝ ඇයගේ ස්වරූපයද, නැත්නම් අපේම අවිඥානික බලාපොරොත්තු, බිය සහ ආශාවන්ගේ ප්රක්ෂේපණයක්ද කියලා අපි අපෙන්ම අහන්න පටන් ගන්නවා. අන්න ඒ Shadow Work එක අවසානයේ තමයි Ego Death එක නැත්නම් මමත්වයේ මරණය පටන් ගන්නේ.
මේක මාර අත්දැකීමක්. මේක හැබෑ මරණයක් නෙමෙයි. අපි මෙච්චරකල් අපි ගැන මාර ලොකුවට හිතාගෙන හිටපු දේවල්, අපේ මමත්වය, අපේ අහංකාරය සහ අපේ අනන්‍යතාව ගැන අපි ඇතුළෙම තිබුණු නිර්වචන බිඳවැටීමක්. සමහරවිට අපි අනිත් මිනිස්සුන්ගේ ඉදිරියේ පවත්වාගෙන ගිය ශක්තිමත් පුද්ගලයාගේ ස්වරූපය, හැමදේම දරාගන්න පුළුවන් කියලා හිතාගෙන හිටපු පුද්ගලයාගේ ස්වරූපය බිඳිලා යනවා. 'මං තමයි ලස්සනම, දක්ෂම, අදරේදී මාරම' කියලා හිතන් හිටපු මායාව බිඳිලා ගිහින් සමහරවිට අපිට අපි තරම් ලස්සන,දක්ෂ, ආදරණීය කෙනෙක් කියලා නොපෙනෙන ව්‍යතිරේක පුද්ගලයෙක් මේ මොහොතේ අපි වැඩියෙන්ම ආදරේ කරන මනුස්සයාගේ ජීවිතේ ඉඩ අත්පත් කරගන්න පුළුවන්. එතනදී අපි කව්රුවත් මාර සුවිශේෂී පුද්ගලයෝ නෙමෙයි කියන කටුක යථාර්තය හෙණ ගහන්න වගේ ඇවිත් අපේ හදවතේ වදිනවා. අපේ මනස ක්ෂණිකව ආලෝකමත් වෙලා අමාරුවෙන් වුණත් ඒ යථාර්තය පිළිගන්නවා. අන්න එතැනදී මමත්වයේ මරණය - Ego Death එක සිද්ද වෙනවා.
ඒ මරණය තුළින් අපි පළවෙනි වතාවට අපිටම අවංක වෙන්න පටන් ගන්නවා. මේ වගේ ඔය ඉතිරි හඳුනාගැනීම් ටිකත් ඔය මරණීය වේදනාව ඇතුළෙදි සිද්ද වෙනවා. ඒ වගේම අපේ කායික සහ මානසික සීමාවන්, අපේ අනුරාගික ආශාවන්, සහ Energy Transfer වගේ සංකල්ප ගැන අපි අලුතින් හිතන්න පටන් ගන්නවා. අපේ ශරීරය, අපේ කාලය, අපේ අවධානය සහ අපේ හැඟීම් කාටද අපි ලබාදෙන්නේ කියන තීරණය ජීවිතයෙදී කොයිතරම් වැදගත්ද කියලා ඔය මරණීය මාවත දිගේ ඇවිදගෙන යන අතරෙදි අපි තේරුම් ගන්නවා.
අපේ ජීවිතයට ඇතුළු වෙන හැම මනුස්සයෙක්ටම අපේ අභ්‍යන්තර ලෝකයට අසීමිතව ඇතුළු වෙන්න ඉඩ දෙන්න ඕනේ නැති බවත්, සමීපත්වය කියන්නේ තමන්ගේ සීමාවන් අහිමි කරගැනීම නොවන බවත් අපි ඉගෙනගන්නවා. හුදෙකලාව අපේ ගුරුවරයා බවට පත්වෙනවා. මුලදී මේ හුදෙකලාව මාර දඬුවමක් වගේ දැනෙන්න පුළුවන්. නමුත් Phone එකට එන call එකේ ඉදලා මෙතෙක් අපේ වටේ තිබුණු හැම ශබ්දයකම නිහඬ වුණාම, අපේ හඹා යෑම නතර වුණාම අපිට ඉතිරි වෙන්නේ අපිම විතරයි. ජීවිතයේ ලොකුම නිදහස තියෙන්නේ අපිට අවශ්‍ය හැමදේම නැතිවෙලා යන මොහොතක පවා අපිට අපිව අහිමි කරගන්නේ නැතිව අනවශ්‍ය තැන්වලින් ඉවත් වෙලා තමන්වම තෝරාගන්න හුදකලාවේ නිර්භීතභාවය තුළයි.
මම මේ හැමදේම ලියන්නේ වේදනාව මාර සුන්දර දෙයක් කියන්න නෙමෙයි. වේදනාවෙන් පීඩා විඳින හැම මිනිහෙක්ම අනිවාර්යයෙන්ම උසස් අධ්‍යාත්මික අවබෝධයකට එනවා කියන්නත් නෙමෙයි. සමහර වේදනාවන් සමරන්න ඕනේ ඒවා කියන්න නෙමෙයි. ඒවලින් සුවපත් වෙන්න කාලය, උදව්, ප්‍රතිකාර සහ ආරක්ෂාව අවශ්‍යයි. කාටවත් තමන්ට දැනුණු වේදනාවකට කෘතඥ වෙන්න මං බල කරන්නේ නැහැ.
නමුත් ඒ වේදනාව ගුරුවරයෙක් කියන එක අපිට බැහැර කරන්න බැහැ.
සමහර මිනිස්සු ඒ වේදනාවෙන් පස්සේ ආපහු මාර ලස්සනට ආදරය කරන්න ඉගෙනගන්නවා. තවත් සමහරු සීමා පනවාගන්න ඉගෙනගන්නවා. සමහර අය කලාවට, සාහිත්‍යයට වගේම අධ්‍යාත්මිකත්වයට සමීප වෙනවා. තවත් අය තමන්ගේ ජීවිතයේ පළවෙනි වතාවට තමන් වෙනුවෙන් ජීවත් වෙන්න පටන් ගන්නවා.
ඒ හැමදේම ඇතුළේ මට පේන්නේ එක දෙයයි. ඒ මරණිය වේදනාවෙන් පස්සේ අපි ආපහු අපි වෙතටම එනවා. අපේ ගෙදර තියෙන්නේ අපි තුළමයි කියලා අපි ඉගෙනගන්නවා. ඒ අවසාන ඉගෙනුමේදී ඔබට හම්බෙන වටිනම මනුස්සයා ඔබව රිදවපු, ඔබව හැර ගිහිපු කෙනා නෙමෙයි. මේ වේදනා මාර්ගය අවසානයේදී ඔබට හම්බෙන වටිනම මනුස්සයා වෙන්නේ ඔබමයි! තමන්ට තමන්වම අහිමි කරගන්නේ නැතුව ජීවත් වෙන්න ඉගෙන ගත්ත ඔබමයි!
ඉතිං ජීවිතයේ වඩාත්ම විශාල ආධ්‍යාත්මික පරිවර්තනය කියන්නේ දෙවියන් හමුවීම නෙමෙයි. දෙවියන් සොයමින් ගිය ඒ දිගු අළු පැහැ මරණීය වේදනා සංචාරය අවසානයේදී තමන්ට තමන්වම හමුවීමයි.
-Yesha Fernando-
