වයසට යනවා කියන එක, එක විදිහකින් බලනකොට පොඩි පිස්සුවක්. දවසකදී හදිසියෙන් වගේ අපි දේවල් දිහා බලන විදිහ හදිසියෙම වෙනස් වෙලා කියලා අපිටම දැනෙන්න ගන්නවා. ඇත්තටම අපේ වටේ පිටේ ලොකු වෙනසක් වෙලා නැහැ, ඒත් අපි ඒවා දකින විදිහ වෙනදට වඩා වෙනස් වෙලා.
වයසින් වැඩෙනවා කියන්නේ කැලැන්ඩරේ ඉලක්කම් මාරුවෙන එකටම නෙමෙයි. කොහේදෝ එක තැනකදී, පෙර දැනුම් දීමකින් තොරවම, නිහඬවම අපි ඇතුළේ මොනවදෝ දේවල් ටිකක් වෙනස් වෙලා. අපි දේවල් දිහා බලන විදිහ වෙනස් වෙලා.
සමහරවිට ඊයේ වෙනකම් අපි හරි ලොකුවට දැකපු දේවල්, ලොකුවට දැකපු මිනිස්සු, බැරෑරුම්ව හිතපු සිද්දි හදිසියේම එක උදේක ඔයා නැගිටිනකොට තවදුරටත් ඒ සා වැදගත් දේවල් නොවෙන්න පටන් අරන්. ඊයේ වෙනකම් අපේ හිත රිදවපු වචන, සමහර මිනිස්සු අද තවදුරටත් හිතට එච්චර බරක් නොදැනෙන දේවල් වෙලා. ඊයේ වෙනකම් කෙනෙක් අපි ගැන මොනවා හිතනවාද කියලා දැනගන්න අපිට තිබුණු උවමනාව, අද වෙනකොට ටිකෙන් ටික අඩුවෙලා. නැත්නම් නැත්තටම නැති වෙලා.
ඇත්තටම ඒ, ඒ දේවල් වෙනස් වෙලා නෙමෙයි.
අපි වෙනස් වෙලා.
එක කාලයකදී අපිට ඕනෙ වුණා නේද හැමෝම අපිව තේරුම් ගන්නවා දකින්න. අපි කියපු දේ හරි කියලා පිළිගන්නවා දකින්න.
අපි හොඳ මිනිස්සු කියලා ඔප්පු කරන්න. අපි ආදරය කළේ ඇයි, අතහැරියේ ඇයි, නිහඬ වුණේ ඇයි කියලා අපිව අතහැරලා ගිය කෙනෙක්ට පවා නැවත නැවත කියන්න. එහෙම නැත්නම් ඔවුන් අපිට එහෙම කළේ ඇයි කියලා දැනගන්න. හැබැයි හෙමි හෙමින් වයසින් වැඩෙද්දී කාලය ගෙවෙද්දී අපිටත් නොදැනිම අපි තුළ ඒ අවබෝධය ඇතිවෙන්න පටන් ගන්නවා.
සමහර මිනිස්සු අපිව තේරුම් නොගන්නෙ අපිව තේරුම්ගන්න අමාරු නිසාම නෙමෙයි, එයාලගේ පහසුව උදෙසා එයාලට අපිව තේරුම්ගන්න ඕනේ ප්රමාණය එච්චරයි කියලා අපිට වැටහෙන්න ගන්නවා. සමහර නිශ්චිත අවසානයක් නැති දේවල්වල ඒ නිශ්චිත නොවන බවම පැහැදිලි පිළිතුර බවත් හේතු හාරා අවුස්සන්න අවශ්ය නැති බවත් වැටහෙනකොට අපි නිහඬ වෙනවා. තවදුරටත් කෙනෙක් එයා කරපු දේ පැහැදිලි කරනකම් හරි අපිට අපිව එයාට තේරුම්කරවන්න අවස්ථාවක් උදා වෙනකම් හරි බලා ඉන්න එක සම්පුර්ණයෙන්ම නතර කරනවා.
හැම තර්කයක්ම දිනන්න ඕනෙ නැහැ කියලාත්, සමහර ජයග්රහණවලට වඩා, නිහඬව එතනින් ඉවත්වෙලා එන එක වටිනවා කියලත්, හැම සම්බන්ධතාවයක්ම සදාකාලිකව පවතින්නේ නැහැ කියලාත් අපිට තේරුම් යනවා. සමහර මිත්ර සම්බන්ධතා නඩත්තු කරන්න තවදුරටත් වෙහෙසෙන්න ඕනේ නැති බවත්, ඒ මිනිස්සු එයාලගේ හෘද සාක්ෂියට දවසක තනියම උත්තර දෙන මොහොතක් උදා වෙන බවත් අපිට තේරුම් යනවා.
වස්තුවේ, වයස වැඩිවෙද්දී තවත් එක දෙයක් හරි ලස්සනට තේරෙන්න ගන්නවා.
ඒ තමයි සැනසීමේ වටිනාකම. තමන්ගේම හදවතේ අභ්යන්තයෙන් නැගෙන සන්සුන් සැහැල්ලු හැඟීමේ වටිනාකම.
ඉස්සර අපිට මොනවද ඕනේ නොවුණේ.
හැමෝගෙම හිත නොරිදවන කෙනා වෙන්න
හැමෝටම හැම වෙලාවෙම ඕනේ කෙනා වෙන්න
හැමෝගෙම යාළුවා වෙන්න
වටිනම කෙනා වෙන්න
දක්ෂම කෙනා වෙන්න
පිළිගැනීම වැඩිම කෙනා වෙන්න
ආදරේ වැඩියෙන්ම ලැබෙන කෙනා වෙන්න
යාලු මිත්රයෝ, නෑදැයෝ , මිනිස්සු ගොඩක් අපි වටේ ඉන්න
ලස්සනට පෙනෙන ජීවිතයක් ගත කරන්න
ඒත් අද...
අද ඔයාට දැනෙනවද හැමෝගෙම timeline එක ඔයාගේ timeline එක නෙමෙයි කියලා. ඔයා යමින් ඉන්නේ ඔයාගෙම වේගයෙන් ඔයාගෙම ගමනක්. ඉස්සර වගේ ඔයා හැමෝටම හැමදේම කියන්නේ නැහැ. ඔයාගේ අරමුණත් ගමනාන්තයත් දන්නේ ඔයාම විතරයි.
දවල්ට ලෝකයක් ඉස්සරහා මට තමා හැමදේම තියෙන්නේ කියලා මවා පෙන්නලා රෑට තට්ට තනි වෙලා තනියම අඬන හදවතින්ම අතෘප්තිමත් ජීවිතයකට වඩා අනුන්ට දේවල් ඔප්පු කරන්න වෙහෙසක් ගන්න අවශ්ය නැති, රාත්රියට තමන්ගේ හිත ඇතුළේ ඇත්තටම සැනසීම පිරෙන, නිහඬව සුවපහසුව නිදාගන්න පුළුවන් ජීවිතයක් කොච්චර නම් වාසනාවන්තද ? කොච්චර නම් වටිනවද ?
හැමෝම දන්න ජීවිතයකට වඩා, තමන්ටම සතුටු හිතෙන ජීවිතයක්!
කාලයත් එක්ක පිටින් ලස්සන දේවල්වලට වඩා ඇතුළෙන් ලස්සන දේවල් අපිට වැඩියෙන් වටින්න පටන් ගන්නවා. ලොකු ගෙයක් වෙනුවට සැනසිලිදායක, පහසුවෙන් පිරිසිදු කරගන්න පුළුවන් කුඩා, උණුසුම්, සුවපහසු, 'නිවසක හැඟීම' දනවන ගෙයක්. යාලු මිත්රයො මහ ගොඩක් වෙනුවට, අරයගෙත් යාළුවා මෙයාගෙත් යාළුවා වෙනවා වෙනුවට හිතේ නිදහසේ කතා කරන්න පුළුවන් මිනිස්සු එක්කෙනෙක්, දෙන්නෙක්, තුන්දෙනෙක්. දිගු සාද කතා වෙනුවට, ආසම කොෆී එක තියෙන කැෆේ එකේ තනිව ගෙවෙන සන්සුන් මොහොතක්.
පිස්සුවෙන් වගේ සල්ලි හොයනවා වෙනුවට, සල්ලි ගැන හැම රෑකම බය වෙන්න නොවන තරම් ස්ථාවරත්වයක්. ඒ වගේම...
උදේ ඇහැරෙද්දි අතීතය ගැන හිතේ බරක් නැති දවසක්. හේතුවක් නැතුවත් මූණේ හිනාවක් ඇඳෙන මොහොතක්. "ඔයාට කොහොමද" කියල හැබෑවටම හොයලා බලන මනුස්සයෙක්, ඒ කෙනා ළඟ ඉන්නකොට ඔයාට ඔයාම වෙන්න පුළුවන් ජිවිතයක්.
මෙන්න මේවා තමයි වයසින් වැඩෙනකොට ජීවිතයේ ලොකුම දේවල් වෙන්නේ.
සමහරවිට වැඩිහිටියෙක් වෙනවා කියන්නේ, ලෝකය ගැන තව තවත් දැනගන්න එකට වඩා, තමන් ගැනම තව තවත් දැනගන්න එක වෙන්න ඇති වස්තුවේ, නැද්ද මං අහන්නේ ? අපේ ජීවිත වටේ එල්ලි එල්ලි තිබුණු අනවශ්ය ගෙජ්ජි වැල්, සීනු, නලා හැලිලා ගිහින් ජීවිතේ වඩා සද්ද අඩු සන්සුන් කලාපයක් වෙන එක තමයි මං හිතන්නේ වයසින් වැඩෙනවා කියන්නේ.
තමන්ට මොනවාද ඕනෙ, මොනවාද ඕනෙ නැත්තේ , කවුද තමන්ගේ මිනිස්සු, කවුද ද්රෝහියෝ , කොතැනද නවතින්න ඕනෙ , කොතැනින්ද පිටවෙලා යන්න ඕනෙ කියලා නිහඬවම තේරුම් යන එකට තමයි වයසින් වැඩෙනවා කියන්නේ.
ඒ වගේම...
අපි කොච්චරක් නම් දුර ඇවිත් ද කියලා ආපහු හැරිලා බලන එක. අපිම හදන් හිටපු සමහර මායාවන්ගෙන් අපි මිදිලා, සමහර මිනිස්සු නැතිවෙලා, සමහර හීන මැරිලා, සමහර ආදර කතා අවසන් වෙලා, අපි ගැන අපිම හදාගෙන හිටපු සමහර විශ්වාසයන් පවා බිඳිලා. ඒත් ඒ හැම දෙයක්ම අහිමි වුණා කියලා හිතන්න බැහැ. මොකද ඒ හැම දෙයක්ම අපිට යමක් දීලා ගිහින්.
ඒ තමයි ජීවිතය වඩා පැහැදිලිව දකින ඇහැක්, මනසක්, හිතක්!
වස්තුවේ, වයසින් වැඩෙනවා කියන්නේ සරලවම 'ඉතිං මට පාන් ද කියලා' හරිම පහසුවෙන් දේවල් නොසළකා හරින්න පුළුවන් වෙන එකට. 'ඔයාගේ සීමාව මේක මගේ සීමාව මේක. සීමාවේ හිටපං' කියලා මිනිස්සුන්ට තමන්ගේ තැන පෙන්නලා දීලා හදවතේ සාමය ආරක්ෂා කරගන්න පුළුවන් වෙන තරම් නිර්භීත වෙන එකට. ඊට පස්සේ රෑට හොඳට කාලා, සනීපෙට නිදාගෙන, උදේට මුණේ හිනාවක් එක්ක ඇහැරෙන්න පුළුවන් වෙන එකට.
-Yesha Fernando-
