දවසක් ඒ කහ පාට කුඩය මම මිලදී ගත්තේ කිසිම විශේෂ හේතුවක් ඇතිව නෙමෙයි.
ඒක පොඩි ඩිස්කවුන්ට් ප්‍රයිස් එකකට තිබුණා. ඒකයි. මගේ පරණ කුඩය සතියකට කලින් තදින් සුළං හමපු වැස්ස දවසකදී කැඩිලා ගිහින් තිබුණා. ඒ නිසා වෙළඳසැලක ගෙවීම් කවුන්ටරය අසල එල්ලා තිබුණු මේ දීප්තිමත් කහ පාට කුඩය මම දෙවරක් හිතා බලන්නේ නැතිව මිලදී ගත්තා. තෙමෙන්න බැරි නිසා, වෙන විශේෂ හේතුවකට නෙමෙයි. ඉතිං ඒ කුඩය ගැන කතාව එච්චරයි කියලා මං හිතුවා. මොකද මට ඒක හරිම සාමාන්‍ය කුඩයක්. ඒත් සමහර කතා ආරම්භ වෙන්නේ අපි ඒවා අවසානයි කියලා හිතන තැනින්.
දින කිහිපයකට පස්සේ ආයෙමත් එකපාරටම වැස්සක අඳුර පැතිරුණා. අඳුරු වලාකුළු නගරය පුරා විසිරුණා. ඒක පුංචි වැස්සක් එහෙම නෙමෙයි. තත්පර ගණනකදී ඊට අහුවෙන ඕනෙම මනුස්සයෙක්ව තෙතබරිත කරලා දාන්න අධිෂ්ඨාන කරගෙන ආපු ජාතියේ නසරානි වැස්සක්. මම කුඩය දිග හැරියා. අන්න ඒ මොහොතේ මට අමුතු දෙයක් දකින්න ලැබුණා. මිනිස්සු මගේ කුඩය දිහා බලලා හිනාවෙනවා, ඔව්, හිතවත් සිනා පානවා. එතකොට තමයි මටත් ඒ වෙනස පෙනුණේ. අඳුරු වටපිටාවේ කහපාට කුඩය තවත් දීප්තිමත්ව කැපී පෙනෙමින් තිබුණා. ඒක පෙනුණේ හරියට ඒ ජනකාය මැද පාවෙන ලොකු සූරියකාන්ත මලක් වගේ.
එක් කාන්තාවක් මාව පහුකරගෙන යන ගමන් හැරිලා සිනාමුසු මුහුණින් මෙහෙම කිව්වා,
"අද මේ අඳුරු වැහි දවසේ මං දැක්ක ලස්සනම දේ මේකයි."
ඒ වචනත් එක්ක මගේ හිතත් ඉබේම ඒ ආලෝකයෙන් පිරුණා. ඒ ලස්සන කහපාට ආලෝකයෙන්. මම කෙටි දුරක් ඇවිදගෙන ගිහින් පදික මාරුවක් ළඟ නතර වුණා. එතැන එක වයසක මහත්මයෙක් වැස්සෙන් සම්පූර්ණයෙන්ම තෙමී යමින් පාර මාරු වෙන්න බලාගෙන හිටියා. ඔහුට කුඩයක් තිබුණේ නැහැ, වැහි කබායක් තිබුණෙත් නැහැ. මම වැඩිපුර නොහිතා ඔහු ළඟට ගියා.
"එන්න... අපි දෙන්නම එකට යමු." මං ඔහුට කිව්වා.
ඔහු එක් මොහොතක් මා දිහා බලන් හිටියා. ඒ බැල්මේ පුදුමයත්, පසුව කෘතඥතාවත් දිස්වුණා. අපි එකම කුඩය යටින් පාර මාරු වුණා. පදික මාරුවෙන් අනෙක් පසදි අපි වෙන් වුණා. නමුත් සමුගන්න කලින් ඔහු මට කිව්ව එක වාක්‍යයක් මගේ හිතේ සදාකාලිකව ලියැවුණා.
" ඔයා අද මේ වැහි දවස පොඩ්ඩක් ආලෝකමත් කළා."
ඒ දවසෙන් පස්සේ මට වැස්ස වෙනස් විදිහට දැනෙන්න පටන් ගත්තා.
ඊළඟ වැහි දවසෙදි මම ඒ ලොකු කහ පාට කුඩය, විශ්වවිද්‍යාල සිසුවෙකු සමඟ බෙදාගත්තා. ඊට පස්සේ බඩු මලු දෙකකුත් අතේ එල්ලගෙන තමන්ගේ පුංචි දරුවා තෙමෙන්න නොදී තබාගන්න උත්සාහ කරන අම්මා කෙනෙක් එක්ක. ඊළඟ දවසේ පාරක් හොයමින් ඉදපු සංචාරකයෙක් එක්ක. තවත් දවසක රෝහලෙන් පිටවී යන කාන්තාවක් එක්ක... ඔන්න ඔය විදිහට හැම වැහි දවසකම, ඒ කහ කුඩයේ කුඩා හෙවන සපුරාම ආගන්තුකයින් දෙදෙනෙක් එක් කුඩා මොහොතකට එක්ව ගමන් කරන තැනක් බවට පත් වුණා.
සමහරවෙලාවට අපි අතර වචන කිහිපයක් හුවමාරු වුණා. සමහරවෙලාවට අපි එකිනෙකාගේ නම් වත් අහලා දැනගත්තේ නැහැ. ඒක ජීවිතේ වෙනස් කරන තරම් මහා ලොකු දෙයක් නෙමෙයි. නමුත් ඒ හැම හමුවීමක්ම එක දෙයක් මතක් කරලා දුන්නා. ඒ අපේ මේ කාර්යබහුල ජීවන ධාවන තරඟයේදී අපිට අමතක වෙන මිනිස් සම්බන්ධතා, අනෙකා කෙරෙහි කුඩා හෝ සැළකිල්ලක් දැක්වීම අපෙත් අනිත් මිනිස්සුන්ගෙත් දවස කොයිතරම් වෙනස් කරනවද කියන එක.
කාලයත් එක්ක මගේ යහළුවන් අතර කහ කුඩය ප්‍රසිද්ධ වුණා. වැසි සහිත කාළගුණයක් ගැන රේඩියෝ එකේ හෝ නිවේදනයක් ගියොත් ඔවුන් අහන්න පුරුදු වුණා...'ආ අදත් කඩ කුඩේ ගෙනාවද ?' කියලා. ඒක ඉබේම සුන්දර විහිළුවක් බවට පත්වුණා. ඇත්තටම ඔවුන් ඒ අහන්නේ කුඩය ගැන නෙමේ, ඒ කුඩය ඇති කරවන කරුණාවන්ත සතුටු හැඟීම ගැන.
එක් දවසක් මං පොත් සාප්පුවකින් පිටවෙද්දී එහි තරුණ සේවිකාවක් දුවගෙන ඇවිත් මාව නැවැත්තුවා.
" අහ් ඔයා තමයි එහෙනම් ඒ කහ කුඩේ අයිති නෝනා නේද?"
මම පුදුම වුණා. ඇය කිව්වේ, කවුරුහරි පාරිභෝගිකයෙක් ඇයට මේ කතාව කිව්ව බව. ඔහුටත් ඒ කතාව ඇහිලා තිබුණේ වෙන කෙනෙකුගෙන්. මුළු සිද්දියම පෙනුණේ හාස්‍යජනක පුදුමයක් වගේ. කොහොමහරි ඒ කතාව පැතිරිලා ගිහින් තිබුණා. මං හින්දා නෙමෙයි. නමුත් කව්රුහරි තමන්ට උදව් කළාම ඒ හැඟීම මොනවගේද කියලා මිනිස්සුන්ට මතක තිබිලා තිබුණු නිසා.
නැවත මාස කිහිපයකට පස්සේ අපේ නගරයට සති කිහිපයක් පුරා වැස්ස ඇද හැලෙන්න ගත්තා. ඒ වගේ එක වැහි සෙනසුරාදාවක මම එළිමහන් වෙළඳපලක ඇවිද යමින් සිටියදී එක් කුඩා ගැහැනු ළමයෙක් මගේ කුඩය දිහා ඉතා උවමනාවෙන් බලන් ඉන්නවා මං දැක්කා. එයාට අවුරුදු හයකට වඩා නම් වැඩි නැහැ.
'ඒ කුඩේ හරිම එළියයි' ඇය කිව්වා. මං සිනාවක් පෑවා. 'ඒක වැස්ස දවස්වලට මට නොතෙමී ඉන්න උදව් කරනවා' මං ඇයට කිව්වා. ඊළඟට ඇය කියපු දෙය මට කිසිදා අමතක වෙන්නේ නැහැ.
'ඒක හරියට ඉර එළිය වගේ'
'ඉර එළිය'
එදා හැන්දෑව වෙනකනුත් මට ඒ වචන ගැන හිතන එක නතර කරගන්න බැරි වුණා. ඉතිං ඒ හැන්දෑවෙදි මං තවත් කහ පාට කුඩ කිහිපයක් ඔන්ලයින් ඕර්ඩර් කළා. මටත් හරියටම පැහැදිලි නැති මොකක්දෝ සතුටක් මුසු අදහසක් මගේ හිතේ නලියමින් තිබුණා. සති කිහිපයකදී මං ඒ ඕර්ඩර් කරලා ගෙන්නගත්ත කහ පාට කුඩ ටික කිහිප දෙනෙක්ට තෑගි කළා.
ගුරුවරියකට
හෙදියකට
පාසල් ළමයින්ව පාර මාරු කරවන නිලධාරියෙකුට
අසල්වැසියෙකුට
අසරණ පවුල්වලට ආහාර බෙදාදෙන ස්වේච්ඡා සේවිකාවකට - වශයෙන් ඒ කුඩ ටික බෙදිලා ගියා. ඒ හැම කුඩයක් එක්කම මම පුංචි සටහනක් තිබ්බා. "කවුරුහරි කෙනෙකුට පොඩි ඉර එළියක් ඕනේ වෙද්දී මේ කුඩය ඔවුන් සමඟ බෙදාගන්න."
එච්චරයි, වෙනත් කිසිවක් නැහැ. පෙරළා කිසිවක් අපේක්ෂා කළෙත් නැහැ. ඒක නිකම් සරල, සතුටු අදහසක් විතරයි. ඒත් මාස කිහිපයකට පස්සේ මට ඒ කතා එකින් එක අහන්න ලැබුණා. ඒ ගුරුවරිය වැස්සට අහුවුණු කුඩා සිසුවෙක් එක්ක දවසක් ඒ කුඩය බෙදාගෙන තිබුණා. හෙදිය එයාගේ රෝගියෙකුව ඔහුගේ මෝටර් රථය තෙක් ඇයගේ කුඩයේ හෙවනින් රැගෙන ගොස් තිබුණා. කුඩය තෑගි ලැබුණු මාර්ග ආරක්ෂක නිලධාරියා වැහි දවස්වලදී පාසල් දරුවන්ව වැස්සෙන් ආරක්ෂා කළා. ඒ කහපාට කුඩ අතෙන් අතට ගියා, මනුෂ්‍යත්වයෙන් මනුෂ්‍යත්වය වෙතට ගියා.
ඒ සොඳුරු කහ පාට, මිනිස්සුන්ගේ මුහුණුවලට සිනහවක් ගෙනාවා. පොඩි කතාබහකට ඉඩක් හැදුවා.
වසරකට පස්සේ එක්තරා උත්සවයකට ගිය වෙලාවේ මම දැක්කේ විශ්වාස කරන්නත් අමාරු දසුනක්. එක කහ පාට කුඩයක්. තව එකක්. තවත් එකක්. එකම ස්ථානයේ කහ පාට කුඩා හතක් විතර. සතුට සහ කරුණාව බෙදන ඒ පුංචි අදහස මට හිතාගන්න බැරි තරම් දුර ගිහින් තිබුණා. සතුට සහ කරුණාව කියන්නේ බෝවෙන සුළු දේවල්. ඒවා එක තැනක නවතින්නේ නැහැ. ඒවා වැඩෙනවා, පැතිරෙනවා.
අදටත් මගේ ඒ පළවැනි කහ පාට කුඩය මං ළඟ තියෙනවා. ඒක දැන් ටිකක් පරණයි. ඒකෙ අතට අල්ලන කොටස සීරීම්වලින් පිරිලා. හැබැයි මම ඒකට තවමත් ආදරෙයි. ඒ ඒක විශේෂ කුඩයක් නිසා නෙමෙයි. නමුත් කරුණාව හුඟක් වෙලාවට ආරම්භ වන්නේ ඉතාම සාමාන්‍ය, කිසිවෙකුත් නොහිතන පුංචි තීරණයකින් බව ඒ කුඩය මට මතක් කරලා දෙන නිසයි. අදත් අහසේ වැහි වලාකුළු එකතු වෙන හැම වතාවකම මම ඒ කහ කුඩය අරගෙන යනවා. කවුරුහරි ඒ කුඩයේ සතුටු පැහැය දැකලා හිනාවෙන හැම මොහොතකම, මට අර පුංචි දැරියගේ වචන මතක් වෙනවා.
"ඒක හරියට ඉර එළිය වගේ."
සමහරවිට කරුණාව කියන්නෙත් ඒකම වෙන්න ඇති. අපි අපිත් එක්කම අපේ ආත්මය තුළ රැගෙන යන පුංචි ඉර එළියක්. අපි ඒක තවත් කෙනෙකු එක්ක බෙදාගන්න හැම මොහොතකම, ඒ ඉර එළිය යට ඉන්න ඕනෙම කෙනෙක්ගේ ලෝකය ටිකක් වැඩියෙන් ආලෝකමත් වෙනවා.
මම මේ සටහන අනුවර්තනය කළේ ලිලී හාපර්ගේ පිටුවේ තිබුණු සටහනක් පාදක කරගෙනයි. හැබැයි මේ ගැන මට ඔයාට කියන්න තව පුංචි දෙයක් තියෙනවා.
අපේ මිනිස් මොළය ස්වභාවයෙන්ම කහ පැහැය - ඉර එළිය සමඟ සම්බන්ධ කර හඳුනා ගන්නයි හැඩගැහිලා තියෙන්නේ. ඉර එළිය කියන්නේ ශක්තිය. ජීවිතයටත්, උණුසුමටත් අවශ්‍ය මූලිකම ප්රභවය ඉර එළිය. ඒ නිසා අපි දීප්තිමත් කහ පැහැයට නිරාවරණය වෙනකොට, අපේ මධ්‍යම ස්නායු පද්ධතිය ඉබේම උත්තේජනය වෙනවා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට සතුටු හෝර්මෝනය විදිහට හඳුන්වන සෙරටොනින් (Serotonin) හෝර්මෝනය නිදහස් වෙන්න පටන් ගන්නවා. එතකොට ප්‍රීතිය, ධනාත්මක හැඟීම්, මානසික ප්රබෝධය සහ අනෙකා කෙරෙහි වෙනදාට වැඩි යම් කරුණාවක්, හිතවත් බවක් අපිට දැනෙන්න ගන්නවා.
පෞද්ගලිකවම කහපාට ඇඳුම්වලට මං ප්‍රියයි. හේතුව එහෙම ඇඳුම් ඇඳපු දවසට ඇත්තටම මං වැඩිපුර ප්‍රීතිමත්. ඒවගේමයි මං හොඳින් අධ්‍යනය කරලා තියෙනවා එහෙම දවස්වලට පාරක ඇවිදන් යන නාදුනන මිනිස්සු පවා මං දිහාවට කුඩා, හිතවත් හිනාවක් පා කරන අවස්ථා ගණන වෙන දවස්වලට වඩා වැඩියි. ඒ නිසා කහ කියන්නේ සතුට බෝ කරන පැහැයක්.
මං 'පෙපර්මින්ට්' පොත ඒ ප්‍රීතිමත් කහ කවරයෙන් නිමවන්නෙත් ඒ පොතේ සම්පුර්ණ හර පද්ධතියම ගොනු වෙලා තියෙන්නේ එය කියවන ඔබේ හදවතට සතුටක්, සැනසුමක්, ඉර එළියක් අරන් එන අරමුණෙන් නිසා.
ඉතින් කහ කුඩයක්, ඇඳුමක්, note book එකක්, පොතක්, කහපාට sticky notepad එකක්, චූටි කහපාට කරාබු දෙකක්, කහපාට පෑනක්, චූටි කහපාට කඩදාසි මල් ටිකක් වගේ පොඩි දෙයක් ඔයාගේ පෞද්ගලික එකතුවේ තියාගන්න. ඒක අඳුරුම දවසකදිත් ඔයාටත් ඔයා වටේ ඉන්න අයටත් පුංචි ඉර එළියක හැඟීමක් ගෙනේවි.
-Yesha Fernando-
