සමහර මිනිස්සුන්ගේ ජීවිත ලස්සන වෙන්නේ එයාලා කිසිදවසක වේදනාවන් විඳලා නැති නිසා නෙවෙයි. ඔවුන් ඕනෑවටත් වඩා වේදනාවන් විඳලා තියෙන නිසයි.. ඒ වේදනාවට තමන්ව ගිල දාන්න ඉඩ නොදී, ඊට අලුත් හැඩයක් දුන්න නිසයි.
ඒවගේමයි ලෝකයේ සමහර ශ්‍රේෂ්ඨ කලාකෘති උපදින්නේ චිත්රාගාරවල නොවෙයි. ඒවා උපදින්නේ නිහඬ, අඳුරු කුඩා කුටිවල කඳුළක් වැටෙන හඬක් වුණත් ඇහෙන තරම් හුදෙකලා, තනිකම පිරුණු තැන්වල.
කොටින්ම සමහර විශිෂ්ඨ නිර්මාණ බිහිවෙන්නේ කෙනෙක්ට තමන් හැර වෙන කිසිවෙක්ම මේ ලෝකේ නැති තට්ට තනි දවස්වල.
ඉන්දියාවේ චත්තිස්ගර්වල කුඩා ගම්මානයක ජීවත් වුණු සෝනාබායි රාජ්වර් ඇයට වඩා වයසින් බොහෝ වැඩිමහලු නපුරු මිනිහෙක්ට කසාද බන්දවලා දෙනකොට ඇයගේ වයස අවුරුදු 14යි. එතැන ඉදන් අවුරුදු දහයක් යනකම් ඇය ඒ මහලු මිනිහගේ අපමණ තාඩන පීඩනවලට ලක්වෙනවා. ඒ ඇයට දරුවන් නොලැබීම නිසා. ඒ අවුරුදු දහය ඉවර වෙනකොට ඇය දරෝගා රාම් නම් පුතෙක් බිහි කරනවා.
ඇයගේ කරදර ඉවර වෙන්නැති කියලා ඔබ හිතනවද ?
නෑ එතැනින් තමයි අඳුරුම කාලය පටන් ගන්නේ. ඇයගේ ඒ දුෂ්ට සැමියා ඇයව ඔවුන්ගේ නිවස ඇතුළේ එකම ජනේලයක්වත් නැති කාමරයක් ඇතුළේ හිර කරනවා. කොයිතරම් කාලයකටද ?
අවුරුදුම 15 කට ඇයට ජීවත් වෙන්න වෙන්නේ ඒ හිරු එළියක්, හුළඟක් නැති කුඩා අඳුරු කුටිය තුළ.
ගිම්හාන කාලෙට ඒ කුටියේ උෂ්ණත්වය සෙල්ෂියස් අංශක 52 ක් දක්වා ඉහළ යනවා. නමුත් ඒ තුළ ඇයට ඒ දුෂ්ටත්වයෙන් මිදිය හැකි කිසිවක් නැහැ. තමන්ගේ මනස ඒ අධික රස්නයෙන් උමතු නොවී තියාගන්න ඇය කුටියේම ඇතුළු බිත්තිවල මැටි හාරලා ඇයගේ කුඩා පුතාට සෙල්ලම්බඩු හදන්න පටන් ගන්නවා. මුලින්ම කුරුල්ලෙක්, මුවෙක්, මිනිහෙක්, තවත් මුවෙක් ඔන්න ඔය වගේ. එයා හිතුවේ එයා එයාගේ පුතාට සෙල්ලම්බඩු හදමින් ඉන්නවා කියලා, නමුත් සෝනාබායි හිටියේ එයාවත් නොදන්න ඉතිහාසයක් නිර්මාණය කරමින්...
මේ දේවල් හදන්න ඇයට තිබුණේ සීමිත සම්පත් ටිකක් විතරයි ඒ මැටි, පිදුරු කෑලි , උණ බට කෑලි සහ ගොම. ඒවා පාට කරන්න ඇයට ලාබ වර්ණ තීන්තවත් තිබුණේ නැහැ. ඇය සිය කුස්සියේ තිබුණු කුළුබඩු, ඖෂධීය පැළෑටි සහ ඛනිජ ද්‍රව්‍ය අඹරලා ස්වාභාවික වර්ණ සකස් කරගෙන ඒවා පාට කළා. කිසිවකුට වටිනාකමක් නොතිබුණු අමුද්‍රව්‍ය කිහිපයක් ඇයගේ ඇඟිලි අතරින් ගමන් කරන විට අපූරු ජීවයක් ලැබුවා. බිත්ති පුරා පිපුණු මල්, දිගු වලිග ඇති මොනරු, ගී ගයන කුරුල්ලෝ, ගවයන්, මුවන්, වඳුරන්, ගස් වැල් ... ඒක හරියට ඇයට අහිමි කරවනු ලැබූ සොබාදහම ඇයගේ නිවස තුළම නැවත උපන්නා වගේ දෙයක්.
මේ අපූරු කලාව ඇය විශ්වවිද්‍යාලයකින් ඉගෙනගත්ත දෙයක් නෙමෙයි. ඇය තුළ සහජයෙන් තිබූ ආශිර්වාදයක් තනිකමෙන් සහ වේදනාවෙන් ජීවය ලැබීමයි සිදුවෙලා තිබුණේ. ජීවිතය ඇයට දුන්නේ පහසු මාවතක් නෙමෙයි. ඒත් ඇයගේ ආත්මය සුවිසල් එකක්ව තිබුණා. පිටත ලෝකයට ඇයව සෙමින් අමතක වෙද්දී ඇය ඇය තුළින්ම සුවිශාල ලෝකයක් සොයාගනිමින් හිටියා.
ඇයගේ විශිෂ්ඨම නිර්මාණය විදිහට කලාවේදීන් සළකන්නේ ඇයම සොයාගත් නව ගෘහනිර්මාණ අංගයක්. ඒක හඳුන්වන්නේ ජාලි (Jali) කියලා. මැටි සහ උණ බට එකතු කරගනිමින් ඇය අර අඳුරු කුටියේ බිත්තියේ යට අපූරු දැල් කවුළුවක් නිර්මාණය කළා. ඉතාම සියුම්ව අතින් සකසන ලද මේ දැල් රටා සහිත කුඩා කවුළු මඟින් ගිම්හානයේදී දැඩි හිරු එළිය මෘදු කරමින් ඒ කුටිය තුළට නැවුම් සුළඟ ගලා එන්න ඉඩක් හැදුණා. ඇයගේ දාහය ඉන් නිවුණා.
ඇයගේ සැමියා ඇයව ඒ කුටියෙන් එළියට ගන්නේ අවුරුදු 15 කට පස්සේ. ඒ වෙනකොට ඒ කුටිය ඇයගේම කලාගාරයක්. එතැන් සිටත් තවත් අවුරුදු 15ක් ඇය සිය නිවස තුළටම සීමාවෙලා මේ අපූරු නිර්මාණ කරමින් ඉන්නවා. නමුත් ඇයගේ තනිකමෙන් උපන් කලාව තනිවෙන්න නියමිත වෙලා තිබුණේ නැහැ.
1983 අවුරුද්දේ භාරත් භවන් හී ගවේශකයින් පිරිසක් චත්තිස්ගර්වල සංචාරයක යෙදිලා ඉන්න අතරෙදි කව්රුහරි ගම්වාසියෙක් ඇයගේ නම සඳහන් කරනවා. ඒක මේ නිකම් ඔහේ කියපු දෙයක් විතරයි. නමුත් ඔවුන් ඇයගේ නිවසට ඇවිදගෙන ආවා. ඔවුන් නිශ්චලව, විශ්මයෙන් ඒ අපුරු ගෘහ කලාගාරය දිහා බලන් හිටියා. කෙටි වෙලාවකට කිසිවෙක් අතර වචනයක්වත් හුවමාරු වුණේ නැහැ. එතරම් අපුර්වත්වයක්, කිසිවෙකුගේ කලාවක ආභාෂයෙන් ඉදුල් නොවුණු ඇයගේම ආවේනික නැවුම් බවක් ඒ කලාකෘති තුළ ඔවුන් දකිනවා.
එතැනින් මාස ගණනක් ඇතුළත ඇය ඇයගේ පළවැනි ඒක පුද්ගල ප්‍රදර්ශනය (සෝලෝ එක්සිබිෂන්) පවත්වනවා. ඉන්දීය රජය එරට මධ්‍ය ප්‍රදේශ් වැසියෙකුට පිදෙන ඉහළම ගෞරව සම්මානය වන තුල්සි සම්මාන් වෙතින් ඇයව පුදනවා. එදා අර අඳුරු කුටියේ කිසිවෙක්ම නැතිව දාහයෙන් දැවෙමින් සිටි සෝනාබායි රාජ්වර් ඇයට අවුරුදු 53 දී ඉන්දීය ජනාධිපතිවරයා අතින් ප්‍රවීණ හස්ත කර්මාන්ත ශිල්පිනිය සඳහා වන ජාතික සම්මානය (National Award for Master Craftperson) හිමි කරගන්නවා.
ඊළඟ දශක දෙක පුරා ඇයගේ කලා නිර්මාණ ජපානය, ඇමරිකාව වගේම යුරෝපය පුරා ප්‍රදර්ශනය වෙනවා. 2007 වසරේ සිය ජීවිතයේ හත්වෙනි දශකයේදී සෝනාබායි සිය මූර්තිමත් ජීවන ගමන නිම කරනවා. වරක් අඳුරෙන් සහ හුදකෙලාවෙන් වෙළී ඇය වැටී සිටි ඒ නිවස ඉන්දියාවේ කලා උරුමයක් බවට නම් කෙරෙනවා. අදටත් එහි නිර්මාණ ලෝකය පුරා කලාකරුවන්ට සිය නිර්මාණාවේශය සපයනවා.
2009 වසරේ සැන් දියාගෝවල මින්ගෙයි ජාත්‍යන්තර කෞතුකාගාරය විසින් පවත්වන ඇයගේ කලා අතීතාවර්ජන ප්‍රදර්ශනය නරඹන්නන්ගෙන් පිරී යනවා. කලක් මෙලොව ජීවත්ව සිටිනවාදැයි වත් කිසිවෙකු නොදැන සිටි ගැහැනියක් එම හුදකලාවෙන් නිමැවූ නිර්මාණ නැරඹීමට දහස් සංඛ්‍යාත ජනකායක් මේ දවසේදී ඇදී එනවා. මොනවගේ දෙයක්ද ඇත්තටම මේ ජීවිතය?
ඇයගේ මේ නිර්මාණ දකිද්දී මට නම් අප්‍රමාණ සාංකාවක් සහ ශෝකයක් දැනෙනවා. ඇය මේ තරම් කුරුල්ලන්ම තැනුවේ ඇයි කියලා මම කල්පනා කරනවා. සමහරවිට, තමන්ට පියාඹන්න බැරි වුණු අහස වෙනුවෙන් වෙන්න ඇති. සමහරවිට, ඇය ඇයගේ හිතෙන් හැමදාම ඒ අහස සිසාරා පියාසර කළ නිසා වෙන්නත් ඇති.
අපි හැමෝම අපට අහිමි දේවල් වෙනත් හැඩයකින් නිර්මාණය කරනවා. සමහරු කවි ලියනවා, සමහරු සිංදු කියනවා, සමහරු චිත්‍ර අඳිනවා, සෝනාබායි..., ඔයා හැදුවේ ඔයාට අහිමි පියාපත්. මටනම් මේවා නිකම්ම මැටි මූර්ති නෙමෙයි. ඒවා තුළ තිබෙන නිදහස වෙනුවෙන් වූ ශෝකී ආශාවක් මට පෙනී නොපෙනී යනවා. කවදාවත් වචනවලින් ඇය කිසිවෙකුට නොකියූ, කිසිවෙකු ඇගෙන් නොවිමසු ඇගේ සිහින, නිහඬවම දරාගත් ඇගේ වේදනාවන්, තනිකම, ඒ සියල්ලටමත් වඩා ඇයගේ විචිත්‍ර මනුෂ්‍ය හදවත මට ඒ තුළින් පෙනෙනවා.
සෝනාබායිගේ ජීවිතය මට නැවත නැවතත් එක දෙයක් උගන්නනවා.. ඒ කව්රුමහරි කෙනෙක් හරි අපේ ජීවිත හිර කළා, අපේ නිදහස සීමා කළා කියලා අපේ සිතුවිලිත් හිර කරන්න ඔවුන්ට කවදාවත් ඉඩ ලැබෙන්නේ නැහැ. සෝනාබායි..., මට මායා ඇන්ජලෝගේ Caged Bird කවි පන්තිය මතක් වෙනවා. ඔයාට කවදමහරි ඒ කවි පන්තිය අහන්න ලැබුණද කියලා අහන්න හිතෙනවා...
ලෝකය දකින්නෙ අපේ තුවාල නෙමෙයි, ඒ තුවාලවල ලෙයින් ඇඳුනු මල්, කවි, සිංදු, සිතුවම්...
සමහර මිනිස්සුන්ගේ ජීවිතය වෙනස් කරන්නේ ආදරය. තවත් සමහරුන්ගේ ජීවිතය වෙනස් කරන්නේ අහිමිවීම්. නමුත් ඒ දෙකෙන්ම කලාවක් බිහි කරන්න පුළුවන් අය ඉන්නවනම් ඔවුන් ඉතාමත් දුර්ලභයි.
ඔවුන්ට කියන්න පුළුවන් නම තමයි 'සෝනා', ඒ කියන්නේ රත්රන්!
