අද සටහන කෙටියි.
ඒත් අද මට ඔයාට මේ දේ කියන්නම ඕනේ! මට වෙලාවකට හිතෙනවා ඔයා self-love කියලා හිතන් ඉන්න දේ 100% ක්ම නිවැරදි නැහැ කියලා.
ඔව් self-love කියන්නේ මේ මොහොතේ ඔයා ආසම දේවල් තනියම හරි රස විඳින, ඔයාටම ආදරය කරන, ඔයාටම වටිනාකම් දෙන, ඔයා ඔයාව අතනොහැර ඉන්න එකට තමයි. හැබැයි ඒ 'මටෝන්නෑ...' කියලා ජීවිතේට එන්න ඉන්න හැම මනුස්සයෙක්වම 'දඩස්' ගාලා එළියට දාල දොර වහලා, ඔයාගෙම බබල් එකක් ඇතුළෙ හිර වෙන එකට නෙමෙයි. ඔව් වරක් බිඳුනට පස්සේ, ටික කලක් ඒ තුවාලය සුවපත් වෙනකම් අනුන්ගේ ඇඟේ ඒ ලේ ගාන්නේ නැතුව පාඩුවේ ඉන්න එක හොඳයි. හැබැයි ඒ විඳවීම ඇබ්බැහියක් කරගන්නේ නැතුව.
එතකම් තනියම coffee එකක් බොන්න යන්න. හැබැයි තව මනුස්සයෙක් ඔයා ආසම coffee එක ගැන දැනගෙන ඉන්න එක, එයා ඔයා වෙනුවෙන් ඒක order කරන එක මොනවගේ හැඟීමක්ද කියලා අමතක නොකර ඉන්න.
ඔව් ඔයාටම මල් අරන් දෙන්න.ඒත් තව මනුස්සයෙක් ඔයාට මලක් අරන් එන හැඟීමේ තියෙන වටිනාකම, මිහිරිබව ප්රතික්ෂේප නොකර ඉන්න.
ඔයා ආසම කෑම එක order කරන්න. ඒත් තව මනුස්සයෙක් ඔයා ආසම Baked Cheesecake වලටද නැත්නම් Non-bake Cheesecakeවලටද කියලා දැනගෙන ඔයා ආස දේ order කරන මොහොතෙදි දැනෙන හැඟීම අමතක නොකර ඉන්න.
කවුරුත් හිටියත් නැතත් ඔයා වෙනුවෙන්ම ලස්සනට අඳින්න. ඒත් කෙනෙක් ඔයා දිහා බලලා 'ඔයා හරිම ලස්සනයි' කියන ස්වරයේ තියෙන දයාර්ද බවට බයවෙලා පැනලා දුවන්නේ නැතිව ඉන්න.
ඔයා ආසම playlist එක තනියම අහගෙන නිදහසේ යන්න එන්න. ඒත් කෙනෙක් එයාගේ මේ මොහොතේ හැඟීම් ඔයත් එක්ක බෙදාගන්න එයාගේ playlist එකේ සිංදුවක් ඔයත් එක්ක share කරගන්න එකේ තියෙන මිහිරිබව ප්රතික්ෂේප නොකර ඉන්න.
Self-love කියන්නේ ඔයා තට්ට තනියම ඔයාට ආදරේ කරන් ඉන්න එකට නෙමෙයි වස්තුවේ. Self-love කියන්නේ ඔයා කොයිතරම් ආදරයක් තවෙකෙක්ගෙන් ලබන්න තරම් වටින මනුස්සයෙක්ද කියලා ඔයාගෙම වටිනාකම්, ඔයාගේ සීමාවන්, ඔයාගේ Standards ගැන අවබෝධයෙන් ජීවිතයට එන වටින දේවල්වලට දොරවල් විවර කරලා තියෙන එක. ආදරය අරන් එන මිනිස්සුන්ගේ intention එක, energy එක pure නැත්නම් ඒක ඉතාම ඉක්මණින් අවබෝධ කරගන්න තරම් ඔයා ඔයාගේ වටිනාකම් ගැන අවබෝධයක ඉන්න එක. ඔවුන්ට ඔයාගේ standards වලට ගැළපෙන්න අපහසුනම්, ඔයා ඔයාගේ standards එයාලගේ සීමාවට පහළ දාගන්නේ නැතිව, loop එකක හිරවෙන්නේ නැතුව එයාලට යන්න දොර ඇරලා දෙන එකට.
Self-love කියන්නේ ඔයා ඔයාට ආදරේ කරන තරම්ම, පිටින් ඉන්න මනුස්සයෙකුගෙනුත් ඒ වගේම ආදරයක් ලබන්න තරම් ඔයා වටින මනුස්සයෙක් බවට වන ස්ව වටිනාකමේ අවබෝධය ලබන එකට. අපි බිඳෙන්න පුළුවන්, ආයෙ ආයෙමත් බිඳෙන්න පුළුවන්. ඒත් ඒ නිසාම තනියම ඉන්න පුළුවන් කියලා ඔප්පු කරන්න මුළු ජීවිතේම කැප කරන්න ඕනේ ද?
ඔයාට තනියම coffee එකක් බොන්න පුළුවන්. Movie එකක් බලන්න, ගමනක් යන්න, තනියමම ඔයත් එක්ක දේවල් විසඳගන්න ඔයාට පුළුවන්. හැබැයි කවුරුහරි කෙනෙක් ඇවිත් 'මට ඔයාට උදව් වෙන්න ඉඩ දෙන්න' කියනකොට ඒ වෙනුවෙන් ඉඩක් දෙන්න පුළුවන්ද කියලා හිතලා බලන තරමට ඔයා කෙරෙහිම නම්යශීලි වෙන එකත් self-love කියන දේ කොටසක් බව අමතක කරන්න එපා.
කවුරුහරි ඔයාගේ නිහඬකම තේරුම් ගන්න උත්සාහ කරනකොට, ඔයා කියන්නත් කලින් ඔයාට ඕන දේ මතක තියාගන්නකොට, ඔයාගේ දවස කොහොමද කියලා ඇත්තටම අහනකොට, ඔයාට අමාරු දවසක “මං ඉන්නවා” කියලා හෙමින් කියනකොට, සමහරවිට ඔයා නොහිතනම මොහොතක ඔයා ආස පුංචි දෙයක් ගෙනත් ඔයාගේ හිත සතුටු කරනකොට, චූටි සටහනක් ලියපු නෝට් එකක් ඔයාට දෙනකොට ඒ ආදරය, ලෙංගතුබව පිළිගන්න බය වෙන්න එපා.
මොකද,
තමන්ව ආදරයෙන් බලාගන්න දන්න මනුස්සයෙක් අනුන්ගේ ආදරය අවශ්ය නැහැ කියලා කියන්නේ නැහැ. ඒ අනුන්ගේ ආදරයට තමන්ව පාලනය කළ හැකි සීමාව එයා දන්නවා. අන්න ඒකයි වෙනස. ඔයාගේ හිස්කම පුරවන්න කෙනෙක් හොයන්න ඕනේ නෑ, හැබැයි ඔයාගෙන්ම පිරිලා තියෙන ජීවිතේට අමතර ලස්සනක් එකතු කරන කෙනෙක් ජීවිතේට ලංකරගත්තා කියලා ඒකෙ ලොකු ගැටළුවක් නැහැ. මොකද එයා හිටියත් , දවසක ගියත් ඔයා අමුතුවෙන් හිස් වෙන්නේ නැහැ.
Self-love කියන්නේ “මට කවුරුවත් ඕනේ නැහැ” කියන අන්තයේ එල්බගන්න එක නෙමෙයි වස්තුවේ. Self-love කියන්නේ මං මාව නැති කරගෙන වෙන කාවවත් තෝරාගන්නේ නැහැ කියන ශක්තිමත් අවබෝධයට එළඹෙන එකයි. මොකද ජීවිතේ සමහර ලස්සනම දේවල් අපිට දෙන්නේ තනියම විඳින්නම නෙමෙයි. ඒවා තව කෙනෙක් එක්ක බෙදාහදා ගන්නකොටයි වැඩිපුර ලස්සන.
සමහර මිනිස්සු එයාලගේ අත් අපේ පැත්තට දිගු කරන්නේ හැබෑම හැඟීමකින්. ඔවුන්ටත් අපිට වගේම ජීවිතය ගැන අරමුණක් තියෙනවා. ඔවුන් පාවෙන ජීවිත නෙමෙයි, ඒ මොහොතට විතරක් සතුට හොයන, ඉක්මණින් වියැකෙන ආකර්ෂණයන් ගෙනෙන ජීවිත නෙමෙයි. ඔවුන්ට ගැඹුරක් තියෙනවා. එහෙම කෙනෙක් ඔයාට යමක් දෙන්න සුදානම් වෙනකොට ඔයාට බඩේ සමනල්ලු පියාඹන හැඟීමට වඩා සන්සුන් හැඟීමක් දැනෙනවා. ඔවුන් ළඟදි ඔයාට සුවපහසුවක් දැනෙනවා.
ඔයා හරියටම ඔයාට ආදරේ කරන්න ගත්තම, ඔයාට හරියටම ආදරේ කරන මිනිස්සුත් ඔයාට පහසුවෙන් අඳුනගන්න පුළුවන් වෙනවා. මොකද එතනින් එහා ඔයා බලන්නේ වචන දිහා නෙමෙයි, ක්රියාවන් සහ හැඟීම් දිහායි.
වස්තුවේ, මට හිතෙන විදිහට self-love කියන්නේ අන්න ඒකයි.
-Yesha Fernando-
