අද 'බර්' මාසවල පළවෙනි මාසේ පළවෙනිදා. මේ පටන් ගන්නේ හැම අවුරුද්දකම මං ආසම කාලය.
මට ඇත්තටම මේ ටිකේ blog ලියන්න වෙලාව මදි. හැබැයි හැම සතියකම එක සටහනක් හරි කියවන්න බලන් ඉන්න පිරිසක් ඉන්න නිසා මං හිතුවා අද සිම්පල් ඇන්ඩ් ස්වීට් වැඩක් කරන්න. FB එක සෑහෙන toxic ගුලාවක් වෙමින් පවතින නිසා දැන් මං ගොඩක් වෙලාවට social media time එක ගෙවන්නේ Instagram එකේ. මේ, මේ ටිකේ Insta එකේ එහෙ මෙහෙ දැකපු ලස්සන quotes වගයක් මං save කරගත්තා. ඒ කරගත්තෙත් මේ වගේ සටහන්වලට උපුටන විදිහට ලියන්න තමයි.
ඉතිං අද මං හිතුවා ඒ quotes ටිකක් විතරක් සිංහලට translate කරලා ඔයාලට මේ සටහන ඇතුළෙන් අලුත් පෙපර්මින්ට් dose එකක් දෙනවා කියලා. මේ ටික කියවන්න, මේ මොහොතේ ඔයාට දැනෙන වචන කිහිපයක් හරි මෙතන තියේවි.
වස්තුවේ, දවසක ඔයා කොහොමද ඒ කුණාටු ඍතුව පහු කළේ කියලා අනිත් අයට කියන්න ඔයාට කතාවක් තියේවි, ඒක තවත් කෙනෙක්ගේ ගැළවීමේ මාර්ගෝපදේශය වේවි
හැමෝමට ඔයා හිතන තරම් ගැඹුරින් දේවල් හිතන්න බැරිවෙන්න පුළුවන්. ඔයා විවෘත පොතක් වගේ ඒ මිනිස්සුන්ව කියවද්දී, ඒ මිනිස්සුන්ට ඔයාගේ කතාවේ පිටකවරයවත් හරියට කියවගන්න බැරි වෙන්න පුළුවන්.
ඔයාගේ පැවැත්ම වටිනවා කියලා ඔයාගේ හදවතත්, මොළයත් දෙකම පිළිගන්න තැන්වල විතරක් රැඳෙන්න.
ඔයා මේ ලෝකෙන් යන දවසකදී ඔයාට අරගෙන යන්න පුළුවන් ඔයාගේ හදවතේ රඳවාගත්ත දේවල් විතරයි. ඒ නිසා අන්න එහෙම දේවල් වෙනුවෙන් ජීවත් වෙන්න.
ඔයා කෙනෙක්ට කොච්චර කැමතිද කියන එකට වඩා හැමතිස්සෙම වැදගත් වෙන්නේ ඒ මනුස්සයා ඔයාට සළකන්නේ කොහොමද කියන එකයි. ඔව් ඒක ආපහු වතාවක් කියවන්න.
හරි ඇස් දෙකකට නම් ඔයා තනිකරම සිතුවමක්, කවියක්, තරුවක්, මාස්ටර් පීස් එකක්.
තව වතාවක් ආදරෙන් බැඳෙන්න වස්තුවේ, හැබැයි ඒ ඔයා එයාගේ සේෆ් ප්ලේස් එක වගේම ලොකුම ඇඩ්වෙන්චර් එකත් කියලා හිතන මනුස්සයෙක් එක්ක.
ඔයා රසම ඇපල් ගෙඩිය වුණත්, පීච් විතරක් කන්න කැමති මනුස්සයෙක්ට ඇපල් කන්න කියලා බල කරන්න ඔයාට බැහැ.
තමන්ගෙම ක්‍රියාවන්ගේ ප්‍රතිඵල විඳින මිනිස්සුන්ට ඔයාගේ සහකම්පනය සහ අනුකම්පාව හොරකම් කරන්න ඉඩ තියන්න එපා. එයාලට එයාගෙම බෙහෙත්වල තිත්ත රස අත්විඳින්න ඉඩ දෙන්න.
මිනිස්සු ඔයාට සළකන විදිහෙන් පෙන්නන්නේ එයාලගේ හැකියාව හෝ නොහැකියාව මිසක් ඔයාගේ හැබෑ වටිනාකම නෙමෙයි.
දවසක ඔයා සුවපත් වෙයි, අන්න එදාට ඔයා අවබෝධ කරගනියි ආත්ම ගෞරවය ආදරයට වඩා වැදගත් බව
ඔයා ඇත්තටම මනසින් 'වැඩෙන' කොට ඔයාට තේරෙන්න ගන්නවා මිනිස්සු තමන් ආදරේ කරන දේවල්වලට වෙලාව හදාගන්නේ කොහොමද, එහෙම නැති දේවල් සම්බන්ධයෙන් සමාවට කරුණු හදාගන්නේ කොහොමද කියලා
වයසින් වැඩෙන්න වැඩෙන්න මට තේරුම් ගියා මිනිස්සු පරිණත වෙනකොට ඇයි එයාලට සිතුවම්, කවි, ගස් කොළන්, සංගීතය සහ කුඩා නිහඬ ජීවිත තුළට අතුරුදන් වෙලා යන්නේ කියලා.
ඔයාව තෝරා නොගත්ත, ඔයා වෙනුවෙන් පෙනී නොහිටපු, ඔයාගේ වටිනාකම ඔයා තුළම ප්‍රශ්න කරන්න සලස්වපු, ඔයාගේ හදවත බිඳලා දාපු මනුස්සයෙක් දිහා තව දුරටත් රොමෑන්තිකව බලන එක නතර කරන්න. ඔයාට ඔවුන්ව පැහැදිලිව දකින්නත් ඊළඟට ඔවුන්ට හෙමින් ඉවත් වෙලා යන්නත් ඉඩ හරින්න වෙනවා. ඔයාව බිඳපු කෙනෙක්ට කවදාවත් ආපහු ඔයාව සුවපත් කරන්න බැහැ.
එක තැනකදී ඔයාට ඔය ශෝකය අතහරින්න සිද්ද වෙනවා, ඊට පස්සේ ඔයාට විශ්වාස කරන්න වෙනවා ඔයාට අයිති දේවල් නම් ඒවා අනිවාර්යෙන්ම ඔයාව හොයාගෙන එන බවත්, එහෙම නැතිනම් ඔයා නහයෙන් හිටගත්තත් ඒවා ඔයාට අයිති වෙන්නේ නැති බව
පොඩ්ඩක් නිහඬව සන්සුන්ව ඔහොම ඉන්නවද ? ඔයා ඔයාට දැනෙන හැම සිතුවිල්ලක් පස්සෙම දුවන්න ඕනේ, හැම ප්‍රශ්නයක්ම විසඳන්න ඕනේ ඊළඟට වෙන්න තියෙන දෙය ඉක්මන් කරන්න ඕනේ කියලා එකක් නැහැ. සන්සුන් ස්ථාවර බව ඇතුළේ ඒකටම ආවේනික නුවණැති බවක් තියෙනවා, අන්න ඒ නුවණැති බව මාර්ගයත් විසඳුමත් දන්නවා.
එයාල මුල ඉදන්ම එයාල කව්ද කියලා පෙන්නමින් හිටියා, ඒත් ඔයා එයාලව දැක්කේ ඔයාට දකින්න ඕනේ විදිහට විතරයි. ඒකයි සිද්ද වුණේ.
මං ඔයාට ආදරෙයි ඩෙක්ස්ටර්, මං ඔයාට මාර ආදරෙයි, ඒත් මං තවදුරටත් ඔයාට කැමති නැහැ. මම තව වතාවකට මාව නැති කරගන්නේ නැහැ. ඒක සාකච්ඡා කළ හැකි කොන්දේසියක් නෙමෙයි.
'අවසානය' කියන එකට අපි දීල තියෙන වටිනාකම වැඩියි කියලා ඔයාට හිතෙන්නේ නැද්ද? හැමවෙලේම හැමදේකටම නිශ්චිත අවසානයක් අවශ්‍ය නැහැ. ඔවුන් කරපු දේ පිළිගන්න, ඊට පස්සේ එතනින් ඉවත් වෙන්න.
සුවපත් වෙන්න වස්තුවේ, හෙමි හෙමින් සුවපත් වෙන්න. එතකොටයි ඔයාට පුළුවන් වෙන්නේ ඔයාට ඇත්තටම ආදරේ කරන මනුස්සයෙක්ව හරියටම අඳුනගන්න, එතකොටයි ඔයාට පුළුවන් වෙන්නේ ඒ මනුස්සයට ඔයාගේ ජීවිතයට එන්න ඉඩහරින්න.
හරි දැනට ඔය අලුත් පෙපර්මින්ට් dose ටික ඇති. ඔය ටික ආයෙ ආයෙ කියෙව්වත් ඒ හැම වතාවකම ඔයාට අලුත් සැහැල්ලුවක්, සැනසීමක් දැනෙයි. ඉතිං සුවපත් වෙන්න!
-Yesha Fernando-
