Mark Mansonගේ The Subtle Art of Not Giving a F*ck කියන්නේ ඔන්න ඔය මගේ වින්ටේජ් වයින් කියවීමට අයිති වෙන පොතක්. පොත අරන් මාසෙකට වැඩි වුණාට තවම මං ඉන්නේ පොතේ 122 වෙනි පිටුවේ. ඒ නිසා පොත ගැන සම්පුර්ණ යමක් තවමත් කියන්න බැරි වුණත්. මං හිතුවා මෙතෙක් කියවපු ටිකේ ලාවමය ගින්දර හරය ඔයාලගේ අද දවසේ ලයිෆ් ඩෝස් එක විදිහට දෙන්න. පොඩ්ඩක් සැර, තිත්ත ගතියක් දැනෙයි. සමහරවෙලාවට එහෙම ඒවාත් දෙන්න වෙනවා.
'The truth is sometimes life sucks and the healthiest thing you can do is admit it - 'The Subtle Art of Not Giving a F*ck'
'ජීවිතේ කියන්නේ වෙලාවකට ජරාවක්, ඒක හොඳම විදිහට අපිට කෙලවනවා, එතකොට එපා..හ් වෙනවා. හැබැයි ඔය යථාර්තය ඒ විදිහටම පිළිගන්න එක තමයි ඔයාට කරන්න පුළුවන් ඇඟට ගුණම දේ'
'දි සටල් ආර්ට් ඔෆ් නොට් ගිවින් අ ෆ*ක්' කිව්වම අපිට හිතෙන්නේ එක පාරටම 'අනේ උඹ නටපන් රුක්මන්' කියලා ඕනෙ මනුස්සයෙක්ගේ මුණට දමලා ඇරලා අපිට ඕනේ දේ කොහොමහරි කරනවා හරි, නැත්නම් අනිත් මිනිස්සු කියන දේ සත පහකට ගණන් නොගෙන ජීවත් වෙනවා වගේ අදහසක්නේ. ඔව් වක්‍රාකාරව යම් තැන්වලදී එහෙම අදහසක් එනවා. ඒත් මං මේ වෙනකම් කියවපු පිටු 122 ඇතුළෙදි මේ මැන්සන් කියන හාදයා අපිට කියන්න උත්සාහ කරන්නේ...
ජීවිතය කියන්නේ හැමදේම දිනාගැනීමේ ගමනක් නෙමෙයි, සමහරවෙලාවට ඒක අත්හැරිය යුතු දේ අතහැරිය යුතු වෙලාව හඳුනාගැනීමේ කලාවක්.
ඒත් එක්කම ලෝකේ සාර්ථකත්වයේ මිනුම් කියලා කියන්නේ ඇත්තටම ජරාවක්.
ඔයාගේ සාර්ථකත්වයේ මිණුම කියන්නේ ඔයාගේ හදවතේ සතුට සහ නිදහස රැකෙන දෙය, කියන කතන්දරයයි.
සරල නමුත් අතිශය ගැඹුරු ඇත්තක් අපිට තහවුරු කරවන මේ පොත ලියපු මැන්සන්ට මං සෑහෙන ආස හේතු දෙකක් තියෙනවා. එකක් මනුස්සයා මගේ වයසේ, ඒ කියන්නේ 1984 ලෝකෙට ආපු බුලට් එකක්. දෙවැනි හේතුව මැන්සන් කියන්නේ පහසු අතීතයක් තිබුණු 'සිරිමත් මගෙ සකි, යහපත් ළමයෙකි' ආකාරයට උස්මහත් වුණු කෙනෙක් නෙමෙයි. ඔහු යොවුන් වියේදී පාසැලේ ලොකර් එකේ මරිජුවානා හංගන් ඉදපු, පාසැල්වලින් නෙරපා හැරුණු, දෙමාපියන්ගේ දික්කසාදයෙන් පීඩා විඳපු අතීතයක් තියෙන කෙනෙක්. හැබැයි මේ විදිහට ජීවිතේ නරකම පරීක්ෂණවලට ලක්වෙලා පතුළටම ඇදගෙන වැටෙන මිනිස්සු ඒ තමන්ගේම අපායෙන් එළියට එන, තමන්ගේම ආත්මය තුළට වඩා තියුණු විදිහට අවදි වෙන turning point එකක් එනවා. අන්න එතැනදී ඔවුන් ලෝකයට වැඩකට ඇති යමක් දෙන්න පුළුවන් මිනිස්සු බවට පත්වෙනවා.
හරි ආයෙමත් අපි පොත පැත්තට ආවොත් මේ පොතේ නම මුලින්ම අහන කෙනෙක්ට ඒක නිකම් උද්දච්ච පණිවිඩයක් තියෙන පොතක් කියලා හිතෙන්න පුළුවන්. හැබැයි පිටකවරේ පෙරළලා හෙමි හෙමින් ඇතුළ බලන්න තරම්, අවසානය තෙක් කියවන්න තරම් සංයමයක් තියෙන මිනිස්සුන්ට ඒ ඇතුළෙන් හම්බවෙන්නේ එකපාරට පේන නමට වඩා වටින යමක්. මාර්ක් මැන්සන් කියන්නේ කිසිම දෙයක් ගණන් ගන්නේ නැතුව ඔයාට ඕනේ දේම කරන්න හෝ හිතන්න කියලා නෙමෙයි. මේ මනුස්සයා කියන්නේ ඔයාගේ අවධානයට ලක්වෙන්න සහ ඔයාගේ හදවතට ගන්න වටින දේවල්වලට විතරක් කාලය දෙන්න කියලා.
අපි ජීවත් වෙන්නේ හැමෝම සතුටින් ඉන්න ඕනේ, හැමෝම අපිට කැමති වෙන්න ඕනේ, අපි හැමවෙලාවෙම හැම දෙයක්ම දිනන්න ඕනේ කියන බහුබූත මිණුම් ටිකකට අපිව බොක්ස් කරන්න හදන ලෝකෙක. ඔන්න ඔය බොක්ස් එකට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වැටෙන්න වුණොත් දවසකට කෝපි කෝප්ප සීයක් බිව්වත් කිසිම එනර්ජි එකක් දැනෙන්නේ නැතුව යන දවසක් එනවා. මං මේ මොනවද කරන්නේ, මේවද මට ඕනේ, මට ඇත්තටම සතුටක් සැනසීමක් දෙන දේවල් තියෙන්නේ මේ බොක්ස් එකෙන් පිට නේද, ලෝකෙට ඕනේ නිසා, පවුලට ඕනේ නිසා, යාලුවොන්ට ඕනේ නිසා මොනාද මං මේ කරමින් ඉන්නේ කියන වෙහෙස ඔයාට දැනෙන්න ගන්නවා.
මේ මානසික වෙහෙස ඊලඟට කෙලින්ම ඇටෑක් කරන්නේ ඔයාගේ ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතියට. ඒ කියන්නේ immunity system එකට. ඊට පස්සේ ඒවා එළියට පෙනෙන්න ගන්නේ එක එක ශාරීරික ලෙඩ රෝග විදිහට, ඔලුවේ කැක්කුම, අධි රුධිර පීඩනය, විශාදය වගේ කොමන් පොෂ් ලෙඩ ඔයාට හැදෙන්න ගන්නවා.
ඊළඟට යන්තම් 40 දී එලොවට වීසා හම්බෙනවා. අන්තිමට හරියට කාලත් නෑ, බීලත් නෑ, නිදාගෙනත් නෑ, කොහෙවත් ගිහිල්ලත් නෑ, සතුටින් ඉදලත් නෑ ලෝකයේ මිණුම්වලට ජීවත් වෙන්න උත්සාහ කරන යුද්ධෙදි පැරදිලා. හැබැයි යුධ වීරයෙක් වෙලත් නැහැ, යන්තම් සුමාන ගණනකදී ඒ ලෝකයේ මිණුම්වලට යන ගමනෙදි ඔයාට හුරේ දාපු මිනිස්සුන්ට ඔයාව අමතකත් වෙලා ගිහින්.
What the f*ck?
අන්තිමට හුස්ම යන මොහොතෙදි ඔයාට අන්න ඒ එකම එක දේ හිතෙන්න ඉඩ තියෙනවා.
ඉතිං අපිට....
හැමදේම පාලනය කරන්න බැහැ, හැම මනුස්සයෙක්වම අපි ළඟ රඳවාගන්න බැහැ, හැම සටනක්ම ජයගන්නත් බැහැ!
මේ මම කියවපු පිටු ටික ඇතුළේ මේ පොත මට කිව්වේ ජීවිතයේ සැබෑ නිදහස ලැබෙන්නේ අමාරුවෙන් හරි හැමදේම අල්ලාගෙන ඉන්න එකෙන් නෙමේ අවශ්‍ය නැති බර, වේදනා, සංතාප, මට පාලනය කරන්න බැරි අනෙකාගේ ක්‍රියාකාරකම්වල වගකීම් සහ ප්‍රතිඵල නිහඬවම බිමින් තියලා මට සතුට දනවන හැබෑම නිදහස සහ ගෞරවය දනවන දේ වෙනුවෙන් කාලය යොදවන එකෙන් කියන එකයි.
අපිට ආදරය නොකරන මනුස්සයෙක්ගේ අවධානය සහ කාලය ඉල්ලා හිටින එක, සමාජ මාධ්‍යවල අනුන්ගේ ජීවිතවල උඩින් පේන දේවල් එක්ක අපේ ජීවිතය සසඳන එක, වටේ ඉන්න හැමෝගෙම සතුටු පෙත්ත වෙන්න උත්සාහ කරන එක නතර කරන්න. I don’t give a f*ck කියන තැනට ශක්තිමත් වෙන්න. ඒ ගාණට පොඩ්ඩක් ආත්මාර්ථකාමී වෙන්න. ඒක නපුරු නැහැ. ඒ attitude එක දෙන ගාණට ඔයාව හදාගත්තම ඔයාට මාර සැනසීමක් සාමයක් දැනෙන්න ගන්නවා. People pleaser කෙනෙක් වුණා කියලා, අනිත් අයගේ හිත් නොරිදවා හැමෝමව තේරුම්ගන්න කෙනා වුණා කියලා මෙච්චරකල් ඔයාට මොනවද හම්බුණේ?
අනුන්ව තේරුම්ගන්න හොඳම කෙනා වෙන එකෙන්, තමන්ව නොසළකා අනුන්ගේ හදවත්වල සාමය ගැන හිතන එකෙන් වෙන්නේ ඔවුන් අපේ ජීවිතයේ ශක්තිය නිහඬව උරාගන්න එකයි. අන්තිමට ඔයා හරියට දේවදාර ගස් ඉන්දපු කඳුකර පොළොවක් වගේ වෙනවා. ඔයාගේ ආදරය, කරුණාව, තේරුම්ගැනීම, කාලය දීම, කැපවීම මේ හැමදේම උරාගෙන දේවදාර ගස් ටික උසට උසට වැඩිලා, ඒත් අන්තිමට ඔයා නිසි පෝෂණයක් නැති පොළොවක් වෙලා.
අනුන් වෙනුවෙන් ඔයා ඔයාව අත්හැරීමේ මිල වෙන්නේ ඒකයි. ඔයාට ඒ මිල ගෙවන්න ඕනෙද ?
අන්න ඒ මිල ගෙවනවා වෙනුවට මුලින්ම අපේ වටිනාකම්, අපිට හැබෑවටම වටිනාකම් දෙන අය, අපේ සෞඛ්‍යය සහ අපේ සිහිනයන් වෙනුවෙන් කැපවෙන්න මේ පොත අපිට බල කරනවා, ටිකක් සැරට. එම්පති සහ අමොෂනල් ඉන්ටෙලිජන්ස් තියෙන එක මේ ජීවිතේදි යමෙක්ට ලැබෙන ඉනර් වැලියු බෝනස් එකක් තමයි හැබැයි වාත නොවෙන තරමට පාලනය කරගන්න පුළුවන් නම්. ඒ කියන්නේ ඔය දෙකට ඔයාම සීමාවක් පනව ගන්නවනම්.
ජීවිතය වෙනස් වෙන්නේ ලොකු තීරණ, ලොකු පියවරවල් වලින් නෙමෙයි. අවශ්‍යම මොහොතෙදි ගන්න කුඩා තීරණවලින්. "මේ දේ වෙනුවෙන් මං මගේ එනර්ජි දෙනවද ?, මේ මනුස්සයා මගේ සාමයට වටිනවද, ගැළපෙනවද ? , දැන් මං මේ විඳවන ප්‍රශ්නේ මෙතනින් අවුරුදු පහකට පස්සෙත් මට මේ විදිහටම දැනෙයිද?" වගේ දේවල් අපි අපෙන්ම අහන්න පටන් ගන්න දවසේ ඉදන් ඔන්න ජීවිතය ටික ටික සැහැල්ලු වෙනවා දැනෙන්න ගන්නවා.
වේදනාව මඟහැරීම කියන්නේ ජීවිතයේ අරමුණක් නෙමෙයි. අපි හැමෝම දුක්, අසාර්ථකත්වය සහ බලාපොරොත්තු කඩවීම් අත්විඳිනවා. නමුත් ප්රශ්නය ඒවා එහෙම වෙන එක නෙමෙයි ඒවාට අපි දෙන වැදගත්කම සහ නාස්ති කරන කාලයයි. සමහර තුවාල අපිව කෑලි කෑලිවලට බිඳලා දානවා,ඒ අතරේ තවත් සමහර තුවාල අපිව වඩාත් ශක්තිමත් වඩාත් සාර්ථක, සාමකාමී ජීවිත ගෙවන මිනිස්සු බවට පත් කරනවා. ඇත්තටම අපේ ජීවිත හැඩගස්සන්නේ අපිට සිද්ද වෙන දේවල් නෙමෙයි, අපි අපේ කාලය දෙන්න, අවධානය දෙන්න තීරණය කරන දේවල්. ලෝකය වෙනස් කරන්න කලින්, අපිට හැබෑවටම වටින දේවල් ගැන අපේ දැක්ම වෙනස් කරගමු.
සමහර විට ජීවිතයේ ලොකුම සතුට හැමදේම අල්ලාගෙන ඉන්න උත්සාහ කරන එක නෙමෙයි. අභ්‍යන්තර සාමයට ගුණ දේවල් විතරක් හදවතේ තියාගෙන ඉතිරි සියල්ල අවශ්‍ය වෙලාවෙදි නිහඬව අතෑරලා දාන එක.
No Dramas, No Confusion, and No giving a F*ck!
-Yesha Fernando-
