මතක කියන්නේ තරු එළි වගේ...
අපි අහස දිහා බලනකොට පේන සමහර තරු, ඇත්තටම මේ මොහොතේ එතන නැති වෙන්න පුළුවන්. ඒ තරුව මැරිලා. ඒත් ඒ තරුවේ ආලෝකය අපි ළඟට එන්න අලෝකවර්ෂ මිලියන ගණනක් ගත වෙන නිසා, ඒ තරුව මැරිලා හුඟක් කාලයක් වුණත්, අපිට තවමත් ඒක දිලිසෙන ලස්සන තරුවක් වගේ පේනවා. ඒත් ඇත්තටම අපි ඒ දකින්නේ ජීවමාන තරුවක් නෙමෙයි. අපි ඒ දකින්නේ මැරුණු තරුවක අවසාන දිලිසුම.
මතකත් ඒ වගේ.
ඇත්තටම මතක කියන්නේ උගුලක්!
ඒක කරන්නේ ඔයාට ඉස්සරහට අඩියක් තියාගන්න අමාරුවෙන තරම් ඔයාව අතීතය ඇතුළෙ ඇදලා බැඳලා හිර කරන්න හදන එක.
ඒ මිනිස්සු, ඒ සිද්දි අපේ ජීවිතවලින් මැකිලා ගිහින් හුඟක් කල්, ඒත් අපි තවමත් ඒවල මතක දරාගෙන ඒ අතීතයට කුඩාම හෝ පණක් දෙන්න උත්සාහ කරමින් ඉන්නවා. අපිට තවමත් ඒ මතක තරු එළියක් වගේ පේනවා, ඒත් ඒ නිසාම අපි දුක් විඳිනවා. මතකයක් කියන්නේ නැතිවෙලා ගිය දෙයක අවසාන සලකුණක්. ඒත් සමහර මතක, මතක විතරක් නෙමෙයි. ඒවා ජීවිත ද්වාර!
ඒවා වැහුවා කියලා ඔයා හිතුවත් මතක කියන්නේ අතීතයට නැවත නැවතත් ඇරෙන දොරවල්. ඇත්තටම අපි නොදැනුවත්වම ඒ දොරවල් අගුළු දාල වහන්නේ නැහැ. ඒ වෙනුවට, රෑට නිදාගන්න කලින් අපි හොරෙන් ඒවා ඇරලා බලනවා. කව්ද ඒ මතකවල ඉන්නේ ? එයා කොහොමද හිනා වුණේ? ඒ දවසේ අපිට දැනුණු හැඟුම මොන වගේද වගේ දේවල් අපි නැවත නැවතත් ඒ දොරවල් ඇර ඇර බලනවා. ඒත් ඊට පස්සේ ඒ දොර වහලා නිදාගන්න හදනකොටත්, ඒ අතීතයේ මතක සද්ද අපේ කාමරේ ඇතුළේම අපිට ඇහෙනවා.
කෙනෙක් අපේ ජීවිතයෙන් මැකිලා ගිහින් හුඟක් කල් වෙන්න පුළුවන්. අපි සහ අපිට අප්රමාණව ආදරේ කරපු මිනිස්සු ඈත් වෙලා, යාලුවො දුරස් වෙලා, ඔයාට ලස්සනම මතක ගොඩක් තියෙන පරණ ගෙයක්, නවාතැනක්, පරණ නගරයක්, පාසලක්, මාවතක්, රැකියාවක්, පවුලක්, ආදරණීය මනුස්සයෙක් එක්ක ගත කළ ජීවිතයක් මේ හැම දෙයක්ම වෙනස් වෙලා ඇති. ඒත් ඒ හැම දෙයකම මතක ආලෝකය තවමත් අපි ළඟට ගලාගෙන එනවා.
පරණ සිංදුවක් ඇහුණාම, අතීතෙක හුරුපුරුදු සුවඳක් ආපහු හදිසියේ දැනුණාම, හුඟ කාලෙකට කලින් එකිනෙකාව අමතක කර දමපු කෙනෙක්ගේ නමක් අහම්බෙන් දැක්කම, පරණ message එකක් කියෙව්වාම, අතීතයේ ඇවිද ගිය පාරක නැවත ඇවිදගෙන යනකොට, එදා එයා ඇඳගෙන හිටපු ඇඳුමට සමාන ඇඳුමක් වෙන කෙනෙක් ඇඳගෙන ඉන්නවා දැක්කාම, අපි කෙනෙක්ගෙන් නිතර අහලා පුරුදු වචන ටිකක් වෙන කෙනෙක් කියනවා ඇහුණම, අන්න ඒ වගේ අපි හිතපු නැති වෙලාවක මතකය මැරුණු තාරකා ආලෝකයක් වගේ අපි ළඟට එනවා. අන්න ඒ මොහොතකට එක තත්පර ගාණකට අපිට දැනෙනවා 'ඒක තවමත් තියෙනවා, එයාල තවමත් අපිත් එක්ක ඉන්නවා' කියලා. ඒත් ඇත්තටම, ඒක එතන නැහැ, එයාල එතන නැහැ.
ඒ තරුව මැරිලා.
ඒ මොහොත ඉවරයි.
ඒ මනුස්සයා වෙනස් වෙලා.
ඒ ජීවිතය ආපහු එන්නේ නැහැ.
ඒත් ඒ මතක ආලෝකය තවමත් අපි ළඟට එනවා.
ඉතිං ඇයි අපි එහෙම මතකවලට පණ දෙන්නේ?
ඒ ඇත්තටම අපිට අතීතය අතහරින්න බැරි නිසාම නෙමෙයි. ඒ සමහරවිට අපිට ඒක 'ඇත්තටම ඉවරයි' කියලා පිළිගන්න අපහසු නිසා. අතීතය මතක කියන්නේ හරි අමුතු දෙයක්. ඒක මොනවිදිහකටවත් වෙනස් කරන්න බැහැ. ඒත් අපේ මනස මායකාරයෙක්. අපේ මනසට පුළුවන් ඒ අතීත මතක ආපහුමත් edit කරන්න.
“එදා මම එහෙම නොකියා හිටියා නම්…”
“එයාට මම තව එක අවස්ථාවක් දුන්නා නම්…”
“මම එදා එතනට ගියේ නැත්නම්…”
“අපි තව ටිකක් උත්සාහ කළා නම්…”
“එයා ආපහු ආවා නම්…”
"මං එයාට ඒ විදිහට සැළකුවේ නැත්නම්..."
“මම ඒ message එකට එහෙම reply නොකළා නම්…”
මෙන්න මේ විදිහට අපි අතීතය තුළ හයිපොතෙටිකල් ජීවිත හදනවා. ඇත්තට සිදු නොවුණට ‘එහෙම වුණා නම්…’ කියලා අපේ මනස ඇතුළේ අපි හදාගන්න මෙන්න මේ හයිපොතෙටිකල් ජීවිතවලදි අපි තවමත් එකට ඉන්නවා, තවමත් ඒ ගෙදර ඉන්නවා, තවමත් ඔවුන් අපිට ආදරෙයි කියන හඬ අපිට ඇහෙනවා, තවම ඔවුන්ගේ සුවඳ, උණුහුම අපිට දැනෙනවා, තවමත් ඔවුන්ගේ විහිලුවලට අපි කෑගහලා හිනාවුණු විදිහ අපිට පේනවා, තවමත් ඒ මඟහැරුණු යාලුවෝ අපි ළඟ ඉන්නවා, තවමත් ඔවුන් කතා කරනවා අපිට ඇහෙනවා. ඒත් මේ කිසිම දෙයක් ඇත්ත නෙමෙයි. ඒවා ඔවුන් ගැන, ඒ තැන් ගැන අපේම මතකය හදපු parallel universes, සමාන්තර විශ්ව. මේ හුඟක් මතක අපිව සනසනවට වඩා අපිව ආයේ ආයෙමත් තුවාල කරනවා. මොකද දුක තියෙන්නේ ඒ මතකය තුළ නෙමෙයි ඒ මතකය ආපහු ජීවත් කරන්න බැරි වීම කියන කාරණය තුළයි.
ඒ දවස ආපහු එන්නේ නැහැ.
ඒ වයස ආපහු එන්නේ නැහැ.
ඒ මිනිස්සු ඒ විදිහට ආපහු එන්නේ නැහැ.
අපිත් ඒ කාලේ හිටපු මිනිස්සු නෙමෙයි.
ඔන්න ඔහොම ඒ මතකය අපිට පෙන්නන්නේ දෙයක් තිබුණා කියන එක විතරක් නෙමෙයි. දැන් ඒක නැහැ, නැවත ඒක ඒ විදිහට සිද්ද වෙන්නෙත් නැහැ කියන එකයි. අන්න ඒක තමයි වේදනාව. මතකයක් මතකයට ආවම ආපහු ඒ තැනට , ඒ දවසට, ඒ මොහොතට අපේ මනස දුවන එක හරිම ස්වාභාවිකයි. හැබැයි මනසේ පාලනය ඔයා සතු විය යුතුයි.
පරණ පින්තූරයක් දැක්කාම අපි ආපහු ඒ දවසට ගිහින් එතන ජීවත් වෙන්න අවශ්ය නැහැ. පරණ message එකක් දැක්කාම, අලුතෙන් ඒකට reply කරන්න තරම් හිත දුර්වල කරගන්න ඕනේ නැහැ. එක්ව අහපු පරණ සිංදුවක් ආයෙමත් ඇහුණම අලුතෙන් රිද්දගන්න ඕනෙත් නැහැ . මතකයන් එනවා. ඒ ඒවල හැටි. හැබැයි ඒවට අලුතෙන් වටිනාකම් දෙන්න යන්න ඕනෙද ?
ඔයා හිතනවද ඒකෙන් ඔයාට එදා ඒ මිනිස්සුන්ගේ ජීවිත ඇතුළෙ නොතිබුණු, නොලැබුණු වටිනාකමක් අද හම්බවෙයි කියලා?
ඔය හීනවලින් ඇහැරෙන්න වස්තුවේ. මේ මොහොතත් මතකයක් වෙන්න කලින්, ඒක හොඳ මතකයක් වෙන තරම් ලස්සනට මේ මොහොත විඳින්න.
සමහර මතකවලට කරන්න තියෙන හොඳම දේ තමයි ඒවා එන්න දීලා, යන්න දෙන එක. අහස දිහා බලලා තරුවක් දිලිසෙනවා දැක්කාම අපි ඒ තරුව අල්ලගන්න උත්සාහ කරනවද? ඒක ලස්සන නිසා අපි ඒ දුර තියෙන තරුව දිහා නිහඬවම බලන් ඉන්නවා විතරයි නේද? ඊට පස්සේ අපි අපේ පාරේ යනවා. මතකත් එහෙම වෙන්න ඕනේ දේවල්.
කෙනෙක් අපිට ආදරය කළා නම්, ඒක අතීත මතකයක්
කෙනෙක් අපිව අතහැරියා නම්, ඒකත් අතීත මතකයක්
ඒත් මතක කියන්නේ සමහර වෙලාවට උගුලක්. අපි යන්න හදනවා. මතක අපිව ආපහු ඇදලා ගන්නවා. අපි අලුත් කෙනෙක්ව අඳුනගන්න හදනවා. ඒත් “එයා වගේ නෙමෙයි. එයාව වගේ දැනෙන්නේ නැහැ” කියලා මතකය කියනවා. අපි අලුත් ජීවිතයක් පටන්ගන්න හදනවා. “ඒ කාලේ කොච්චර හොඳද…” කියලා මතකය කියනවා. අපි අලුතෙන් සතුටු අණු හොයාගන්න හදනවා. “ඒ කාලේ ඒ විඳපු සතුට මතකද?” කියලා මතකය අහනවා. ඒ නිසා අපි ශරීරවලින් වර්තමානයේ ඉන්න ගමන් අතීතයත් එක්ක පවුල් කනවා. How pathetic ? Isn't it ?
එදා අපිට වටින කෙනෙක් අද අපේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් එදා තිබුණු ඒ ආදරය, ඒ මොහොත බොරු වෙන්නේ නැහැ. ඒත් එදා තිබුණු ආදරය අදත් අපේ ජීවිතය පාලනය කරන්න ඕනේ කියලා එකකුත් නැහැ. සමහර මිනිස්සු අපේ ජීවිතයට එන්නේ අපි එක්ක සදහටම ඉන්න නෙමෙයි. අපිව වෙනස් කරලා යන්න. අපිව upgrade කරලා යන්නේ. හරියට ආදරේ කරන්නේ කොහොමද කියලා අපිට උගන්නලා, අපි ආදරේ ඇතුළෙදි කරන වැරදි ටික අවබෝධ කරවලා දීල යන්න. අපි මෙතෙක් ජීවිතයේ නොදුටු පැහැයන් පෙන්වලා, අපි අත් නොවිඳපු සතුටු මොහොතවල් අපිට දීල යන්න. ඒ මනුස්සයව ආයෙ අපිට වෙන කෙනෙක් ඇතුළෙන් හොයාගන්න බැහැ, එහෙම හොයන්න ඕනෙත් නැහැ. සමහර සම්බන්ධතා කියන්නේ ගමනාන්ත නෙමෙයි. ඒවා ඒ ගමන යන පාරේ තිබුණු තාවකාලික නැවතුම් විතරයි. ඒවා ඒ මොහොතට සදාකාලිකව දැනෙන්න පුළුවන්, ඒත් ඒවා එහෙම සදාකාලික වෙන්න නියමිතව තිබිලා නැහැ! ඔයාගේ සදාකාලික නැවතුම, ගමනාන්තය මීට වඩා හුඟක් ලස්සන, මීට වඩා ඔයාට වටිනාකම් දෙන, ඔයා වෙනුවෙන් ඕනෙම අමාරු මොහොතකට මුහුණ දෙන්න සුදානම් ලස්සන පාරාදීසයක් වගේ උණුසුම්, ලෙංගතු, ආදරණීය එකක්.
ඒ නිසා ඊළඟ වතාවේ පරණ මතකයක් ඔයාව රිද්දන්න ගත්තොත් අහස දිහා බලන්න. ඒ මතකය හරියට අහසේ මැරුණු තරුවක අවසාන ආලෝකය දිහා ඔයා මේ බලන් ඉන්නවා වගේ කියලා අවබෝධ කරගන්න. මේ තරුම ඒ මිනිස්සුත් කොහේහරි ඉදන් දකිනවා ඇති ඒත් එයාලත් ජීවිතත් නැවතිලා ඔයා වෙනුවෙන් මඟ බලන් ඉන්නවා නෙමෙයිනේ, ඔවුනුත් තම තමන්ගේ ජීවිතවල ඉස්සරහට යනවනේ කියලා මතක තියාගන්න. 'එයාට එහෙම අමතක කරලා ඉස්සරහට යන්න පුළුවන් වුණාට මටනම් අමාරුයි' කියලා මොට්ටයෙක් වගේ හිතන්න විතරක් ලේස්ති වෙන්නෙපා!
ඒ මතකය ලස්සනයි නම් ලස්සනයි කියලා පිළිගන්න. ඒ මතකයෙන් රිදුණොත් රිදුණා කියලා පිළිගන්න. හැබැයි ඔයාගේ ජීවිත අහසේ ඒ තරුව මැරිලා! ඒ මනුස්සයා තවදුරටත් ඔයා දැනගෙන හිටපු ඔයා ආදරය කරපු කෙනා නෙමෙයි!
ඒ දවස ඉවරයි! ඒ ජීවිතය අවසන්!
ඒත් ඒකෙන් ලැබුණු මතක ආලෝකය තවමත් ඔයා ළඟ තියෙන්න පුළුවන්. ඒ ආලෝකය නැති කරන්න ඕනේ නැහැ. ඒ අතීත මිනිස්සු අපේ ජීවිතවල හදපු ඒ ආලෝකයෙන් අලුත් පාරක් හොයාගන්න වස්තුවේ...
අතීතය දිහා බලලා, “එහෙම දේකුත් මගේ ජීවිතේ තිබුණනේ" කියලා හිනාවෙන්න පුළුවන් දවසක් එනවා.
මතක සදාකාලික නැහැ! ඒකෙන් දැනෙන සතුට හෝ වේදනාවත් සදාකාලික නැහැ!
ඒ නිසා මතක උගුල්වල පැටලෙන්නේ නැතිව පරිස්සමට ජීවිතේ දිගේ ඇවිදගෙන යන්න.
-Yesha Fernando-
