ඒත් අවුරුදු ගානක් ආපස්සට හැරිලා බලද්දී ඇත්තටම හිත නතරවෙන්නේ සහ මතකවල ඉතිරි වෙලා තියෙන්නේ ඔය මහප්‍රාණ දේවල් නෙමෙයි නේද ? ඔයාට එහෙම වෙලා නැද්ද ?
එහෙම ආයේ හැරිලා බලනකොට මගේ නම් හිත නතරවෙන්නේ අතීතයේ තිබුණු කාටවත් නොපෙනුණු සමහරවිට මං හෝ තව කෙනෙක් දෙන්නෙක් විතරක්ම දැනගෙන ඉදපු පුංචි මොහොතවල්වල.
දවසක් උදේක ඇහැරෙනකොට ජනෙල් තිර අතරින් පෙරිලා කම්මුලට වැටුණු හිරු එළිය තීරුවක රිදී පීත්තපටි උණුහුම, ඒ ඉර එළිය තීරු කාමරය පුරා මී පැණි පැහැයෙන් ගලාගෙන ගිය විදිහ, සමහරවිට අපේ අනෙක් පසින් නිදාගෙන උන්නු ආදරණීය මනුස්සයෙක්ගේ සියුම් සුසුම් ස්වරය...
නැතිනම් තද ඉර එළිය වැටිලා පොළොව වේලිලා තිබුණු සති කිහිපයකට පස්සේ වැටුණු පළවෙනි වැස්ස, ඒ එක්ක පොළොවෙන් නැගුණු සුවඳ, කාමරය ළඟ වහලෙන් සීරුවට වැටුණු වැහි බිංදු, සමහරවිට ඒවා අසල්වැසි රෝස පඳුරක කොළ උඩට එකතු කරපු පිනි බෝල...
දකුණු වෙරළක, තඹ පාට වැල්ලේ දෙපා නතර කරන් ඈත රළ රැලි පෙරලෙන දිහා බලන් හිටපු මොහොතක ඒ සයුරු රැළි ඇවිත් ඔයාගේ දෙපා වටා එතිලා, මුතු වගේ පෙන කැටි ඉතිරි කරලා ගිය විදිහ, ඒ වෙරළේ ඔයා ඇඟිල්ලකින් ලියපු මොනවාම හෝ දෙයක්...
අහම්බෙන් ගහකින් ඔලුව උඩට වැටුණු කොළයක්, රතු ගොඩොල් අල්ලපු පරණ ගෙවල් වලින් සැදි අතුරු මාවතක්, ඒ මාවතේ ගේට්ටුවකින් පහළට බේරුණු වැලක තිබුණු නම නොදන්නා මලක්... සමහරවිට ඔයා ගූගල් ලෙන්ස් විමසලා ඒ මලේ නම හොයාගත්ත පුංචි දරුවෙක්ගේ වගේ සතුටු මොහොතක්...
අපි ආදරය කළ, අපේ අතීතයේ අඩි තබා ගිය මිනිස්සුන්ගේ, මිතුරන්ගේ සිනහ හඬක්...
මේ හැම පුංචි මොහොතක්ම, අපි නොදැනුවත්වම, ජීවිතය ඇතුළේ නොමැකෙන සටහන් තියලා නේද? ඒ ඒවා ලොකු මොහොතවල් නිසා නෙමෙයි වස්තුවේ. ඒ මොහොතට ඒ හැමදේම වඩා අව්‍යාජ මොහොතවල් වුණු නිසයි.
මේ කුඩා කුඩා මොහොතවල් නෙමෙයිද ජීවිතය කියන දිගු කවියට කුඩා කුඩා අපූරු වචන අමුණලා තියෙන්නේ?
මට මෙන්න මේ නිශ්චිත මොහොතේ ඉතා තදින් යම් දෙයක් දැනෙමින් තියෙනවා.
මේ පෘතුවි සංචාරයට අපි ඇවිත් ඉන්නේ ඉක්මනින් හෝ පහුවෙලා හෝ ආපු තරුවකටම ආපහු යන්න. එතෙක් අපේ සතුට සහ සැනසුම රැඳිලා තියෙන්නේ, ජීවිතයේ අර්ථය රැඳිලා තියෙන්නේ ලොකු මොහොතවල්වල නෙමෙයි, ඒ මොහොතට හරිම කුඩායි කියලා පෙනුණු පුංචි නමුත් අව්‍යාජ මොහොතවල්වල...
හුඟක් ලොකු ඉලක්ක පස්සේ, ජයග්‍රහණ පස්සේ දුවලා ඔයාට මහන්සි නැද්ද වස්තුවේ ?
චුට්ටක් නවතින්න, මේ මෙතැන, මං එක්ක
මලක, මල් පෙත්තක, පුංචි බබෙක්ගේ කම්මුලක පිරිසිදුම මොලකැටි සුවඳ විඳින්න. වෙරළ අයිනක අවන්හලක බීර සංවාදයක් පුරන්න. උදේක පිනි වැටුණු තණකොළ ගොල්ලක නිරුවත් දෙපා තියලා ඇවිදින්න, මේ මහපොළොවෙත්, පිනි පලසෙත් සිසිල හදවතට උරාගන්න...
හැමදාම නිවිලා කන කෑම එක ටිකක් උණුවෙන් කන්න, ඒ අතරේ හුඟ දවසකින් හරියට කතාබහක් ඇති නොවුණු අම්මා එක්ක, තාත්තා එක්ක, නැත්නම් ගෙදර ආදරණීයෙක් එක්ක උවමනාවෙන් කතා කරන්න, ඔන්ලයින් ලෝකයෙන් අඩ පැයකට මිදිලා ඔයාගේ ඒ වෙලාව එයාලට දෙන්න...
හුඟ දවසකින් හරියට නොබලපු අහස දිහා බලන්න, වලාකුළු කතා ගොතන්න. පොතක පිටු අතරින් වෙන රටක වෙන මිනිස්සුන්ගේ ජීවිතයක් මැදින් ඇවිදගෙන යන්න..
හිත රිදිලා නම්, ළඟම කෙනාට, ගෙදර මිනිස්සුන්ට කෑගහන්නේ නැතිව හෙමින් ඔයාටම කෝපි කෝප්පයක් හදාගන්න. ඊට පස්සේ ඒක දෑතින්ම අල්ලගෙන ඒ සුවඳත් උණුසුමත් පපුවට උරාගන්නා ගමන් නිහඬව හුස්ම ගන්න, ඔයාව සන්සුන් කරන්න ඒ කුඩා කෝපි මොහොතට ඉඩ දෙන්න.
මේක හරිම මැජිකල් මල් පියලි, සමනල පිහාටු, තුරු වැල්, නිල් සයුරු, හුස්මගන්න කඳු පිරුණු අපූරු ලෝකයක්, ඔයා ආවේ ඒ ලස්සන දකින්න. ඉතිං දෙයියන්ගේ හෝ මොන සාතන්ගේ නාමෙට හරි ඔයාට දරාගන්න බැරිතරම් අමාරු දේවල් පස්සේ දුව දුව දුක් විඳින්නේ නැතුව, මෙතැන මේ මොහොත විඳින්න.
මේ ලෝකේ සෞන්දර්යය කියන්නේ ඔයාට දවස ගානේ අලුත් විශ්මයන් ගේන දෙයක්, හැබැයි ඒ ඔයා ඔය ඔන්ලයින් ලෝකයෙන් මොහොතකට ඔලුව උස්සලා ඕෆ්ලයින් මෝඩ් එකට මාරු වුණොත් විතරයි.
මේ ලෝකයට ආදරේ කරන්න.
ඉර බැහැගෙන යන හැම හැන්දෑවක්ම ජීවිතේ පළවෙනි වතාවට දකිනවා වගේ දකින්න. ඒ හැන්දෑ ඉර එළිය ගස් අතු අතරින් පෙරෙනකොට ලෝකය මොහොතකට ගෝල්ඩන් අවර් එකට යන හැටි විඳින්න. ඒ ගෝල්ඩන් අවර් එකේදී දැනෙන, සමහරවිට ඔයාගේ ජීවිතේ කිසි දවසක වෙලාවත් නැති, නිශ්චිතව මෙන්න මෙහෙමයි කියලා කියන්න බැරි හේතුවකට දැනෙන මිහිරයි අමිහිරයි අතර නොස්ටැල්ජික හැඟීම විඳින්න
සමහරවිට කව්රුහරි කියන්න පුළුවන් ඔයා ඕනවට වඩා සංවේදීයි කියලා.
ඒත් මේ පුංචි පුංචි දේවල් ඇතුළෙන් ජීවිතේ හොයාගන්න සතුටු සෙල්ලම කවදාවත් මඟහැර ගන්න එපා. ඒ සතුටු සෙල්ලම ඔයාට කියලා දෙන කව්රුම හරි ඔයාගේ ජීවිතේ ඉන්නවනම් ඒ මිනිස්සුන්ව, ඒ යාළුකම් මඟහැර ගන්නත් එපා
මොකද ලෝකය තවමත් හරිම මැජිකල් තැනක් කියලා ඔයාට දනවන්නේ ඒ මිනිස්සුයි, මේ පුංචි පුංචි දේවල් ටිකයි.
ඔයා ආසම කවියක් මතක තියාගන්න. ඔයාගේ හදවතට උණුහුමක් හදන මනුස්සයෙක්ට ඒ කවියේ වචන ටික හෙමින් කියන්න. ආසම සින්දුවක පද හදවතේ තැන්පත් කරගන්න. ඔයාට විශේෂම කෙනෙක්ට ඒ සිංදුවේ පද ටික කොළයක ලියලා යවන්න. ආදරය කරන්න. අහිමි වීමකට පස්සේ ආයෙමත් ජීවිතය ආදරයට අලුතෙන්ම විවෘත කරන්න.
ජීවිතය කියන්නේ... අනවරත දිවීමකින් ලබාගන්න ඕනේ ජයක් නෙමෙයි. ආදරය කරන මිනිස්සුන්ගේ අත් අල්ලගෙන තව ටිකක් ඇවිදින්න හෙමින් ඇවිදන් යන්න ඕනේ ගමනක්.
අවසානයේදී...
අපේ ජීවිතය ලස්සන කරලා තියෙන්නේ ලොකු දේවල් නෙමෙයි.
ඒ..
ඒ අපි හදවත පිරෙන්න හුස්ම ගත්ත සුවඳවල්, අපිව අත නොහැරපු මිනිස්සු, අපි හදවතින්ම හිනාවුණු දවස්, අපි අඬලත් ආයෙ හිනා වුණු දවස්, නිහඬව එක තැනක ඉගෙන ඉර බැහැගෙන යනවා බලන් හිටි දවස්.
ඒ තමයි ජීවිතය...
ඒක ඒ වගේ පුංචි පුංචි ආලෝකමත් මොහොතවල් දහස් ගණනක් එකතු වෙලා, අන්තිමට "මම ලස්සනට ජීවත් වුණා" කියලා හිතට එකඟව කියන්න පුළුවන් තරම් දිදුලන තරාකා මතකයක් බවට පත්වෙන දිගු, නිහඬ, ආදරණීය ගමනක්.
ඉතින්...
අදත් ප්ලුමේරියා මලක විස්තර කරන්න බැරි ඒ අමුතු සුවඳ විඳින්න.
අදත් අහස දිහා බලන්න, තරුවලට ඔයාගේ හිත කියන්න.
අදත් හේතුවක් නැතුව හිනාවෙන්න, අඬන්න ඕනේ නම් අඬන්න.
අදත් ආදරෙයි කියන්න, ජීවිතේට ආදරේ කරන්න.
-Yesha Fernando-
