අද මං කතා කරන්නේ මං ළඟදී දැකපු ලස්සන කියමනක් ගැන. ඒකෙදි මෙන්න මෙහෙම කියනවා.
'ශරත් ඍතුවේදී ගහකින් කොළයක් හැලුනම නැත්නම් ශරත් සුළඟට අසු වෙලා ගහ අතුපතර සොලවලා කොළ බිම හැලුවම ඒකෙන් කියන්නේ නැහැ ගහ කොළයටවත් කොළය ගහටවත් ද්‍රෝහි වුණා කියලා. ඒකෙන් කියන්නේ ගහත් කොළයත් යන දෙකම ඒ ඍතුවේ ඍතු නියමයට යටත් වුණා කියන එකයි' කියලා.
මේ නෙමෙයිද අපි හැමකෙනෙක්ගේම ජීවිතවල සිද්ද වෙන දේ?
අපේ ජීවිතවලට මිනිස්සු එනවා. සමහරු වසන්තයක් වගේ ඇවිත්, අපේ දවස් රෝස සුවඳින් පුරවනවා. සමහරු ගිම්හානයක් ආලෝකයත් උණුසුමත් හදනවා. තවත් සමහරු වැස්සක් වගේ ඇවිත්, අපි තුළ තිබුණු දුක් වේදනා සංකාවන් හෝදලා දානවා. මිතුරෙක් වුණත් , අම්මා තාත්තා, දරුවෝ, පෙම්වතුන්, සහකරුවෝ මේ කා එක්ක වුණත් මොනයම් ආකාරයකින් හෝ අපිට ශරත් ඍතුවක් උදා වෙනවා. එයාලට අපෙනුත්, අපිට එයාලගෙනුත් වෙන්වෙලා එන්න සිද්ද වෙනවා, මොන ආකාරයකට හරි.
මෙතැනදී අපිට ටිකක් බරපතලව දැනෙන ශරත් ඍතුව තමයි අපි දැඩිව ආදරයෙන් බැඳුණු පෙම්වතෙක් පෙම්වතියක් නැතිනම් සහකාරයෙක් සහකාරියක් එක්ක උදා වෙන වෙන්වීමේ ශරත් ඍතුව. මේ වෙන්වීමේ වේදනාව දරාගන්න අපහසු නිසාම අපි හුඟක් වෙලාවට මේ වෙන්වීම වුණේ ඇයි කියලා දාහක් හේතු හොයනවා, ඔලුව ඇතුළෙන් සිනමාපටි වගේ කතන්දර කිහිපයක් මවා ගන්නවා. මේ වෙන්වීමේ වේදනාවෙන් මිදෙන්න චෝදනා කළ හැකි වැරදිකාරයෙක්ව, විලන් කෙනෙක්ව අපි නිතරම හොයනවා.
“එයා වෙනස් වුණා...”
“එයා මාව දාලා ගියා..."
“එයාට මාව මදි වුණා...”
“එයා මට ද්‍රෝහි වුණා...”
වගේ නොයෙකුත් කතන්දර අපි හිතනවා, කියනවා, චෝදනා කරනවා. හැබැයි ඇත්තම ප්‍රශ්නේ ඒ මුකුත් නෙමෙයි, ඇත්තම ප්රශ්නය කාලය, ඒ ඍතුව සහ එහි ඍතු නියමය.
සමහර සම්බන්ධතා අවසන් වෙන්නේ එතැනින් එක්කෙනෙක් අතිශය අවස්ථාවාදී, කපටි , සියුම් , ආත්මාර්ථකාමී කෙනෙක් වගේ හේතු නිසාම නෙමෙයි. ඒ ආදරය බොරුවක් නිසාත් නෙමෙයි. ඇතැම්විට වෙන්වෙන මොහොතේ පවා ඔවුන් එකිනෙකාට ආදරෙයි. ඒත් ඔවුන් නොදැනුවත්වම ඔවුන් දෙදෙනාම තම තමන්ගේ ජීවිතවල වෙනස් ඍතු දෙකකට ඇතුළු වෙන වෙලාවක තමයි මෙන්න මේ වෙන්වීමේ අතරමැදි ශරත් ඍතුව එන්නේ. ඒ වෙන්වීම ඔවුන්ට වෙන් වෙන්ව වැඩෙන්න ස්වාභාවදහමෙන් කෙරෙන නියමයක් වගේ දෙයක්. මොකද ඔවුන් තව දුරටත් ජීවිතය තුළ වෙන් වෙන්ව උගත යුතු දේ තිබෙන නිසා.
කොළයක් ගහෙන් වෙන්වුණා කියලා, ඒ කොළය ගහට ආදරය කළේ නැහැ කියලා කියන්න බැහැ. ඒ වගේම ගහ කොළය අතහැරියා කියලා ගහට ඒ කොළය එක්ක බැඳීමක් නැහැ කියලා කියන්නත් බැහැ. බැඳීමක් අවසන් වෙන හැම වෙලාවකම ඒ බැඳීමේ වටිනාකම අහෝසි වෙන්නේ නැහැ.
හැම මනුස්සයෙක්ම අපේ ජීවිතවල නවතින්න එන්නේ එක්තරා ඍතුවකට විතරයි. ඒක සදාකාලය ලෙස වරදවා වටහා ගැනීමේ මිලයි ඔවුන් වෙන්ව යාමේදී හෝ අපි ඔවුන්ගෙන් වෙන්ව ඒමේදී අපි විඳින්නේ. බැඳීමක් ඇරඹෙනකොටම ඒක කවදාහරි කොහොමහරි අවසන් වෙනවා කියන අවබෝධයත් එක්කම ඒ බැඳීම තුළට යන්න අපි ඉගෙන ගන්නකම් මේ ඍතු නියමයේ වේදනාව අපිට විඳින්න සිද්ද වෙනවා. එතකම් අපි එකිනෙකාට චෝදනා කරගනිමින් වරක් අත්‍යන්ත ආදරයෙන් බැඳිලා හිටපු මිනිස්සුන්ව විලන්ලා බවට පත් කරලා ඔවුන්ට චෝදනා කරනවා.
වස්තුවේ, හැමවෙලාවෙම බැඳීමක් කියන්නේ දෙන්නෙක්ගේ තීරණයක්. ඒක අවසන් කරන්න කව්රු මොන හේතුව මත තීරණය කළත්, ඒක ආරම්භ කරන්න තීරණ කළේ දෙන්නමයි. ඒ නිසා වෙන් වෙන කෙනාගේ හේතු මොනවා වුණත් ඔයා එයාට ඇත්තටම ආදරය කළානම් ඔයාට ඇත්තටම වැදගත් වෙන්නේ ඒ මනුස්සයගේ සතුට, දියුණුව සහ නිදහස විතරයි. ඒ ඇත්තම ආදරේ ඔයාට ඔයා තුළින් දැනුණු දවසට ඔයාට හරිම පහසුවෙන් ඒ මිනිස්සුන්ව එයාලගේ නිදහස ඇතුළට අතහැරලා, ආපහු හැරිලා නොබලම ඔයාගේ ඊළඟ ඍතුවට පියමනිනවා.
දන්නවද මේ හැම ඍතුවකම අපි ළඟට එන මිනිස්සු අපිට යමක් උගන්වනවා. අපේ හදවතේ යම් තැනක් පුරවනවා, අපිව වෙනස් කරනවා. සමහරවිට අපිට අපි ගැනම අලුත් දෙයක් හඳුනාගන්න උදව් කරනවා. අපේ ජීවිත ඇතුළේ වෙනස්ම කලාප අපිට හොයලා දෙනවා. ඔවුන්ගේ ආලෝකයෙන් ඔවුන් අපේ ජීවිතේ ඇතුළේ අපිට ආලෝකය හොයලා දෙනවා. ඊට පස්සේ, ඔවුන් නික්ම යා යුතුයි.
ඒ හැර යාම හැමවිටම ද්‍රෝහීකමක් නෙමෙයි. ඒක ජීවිතයේ ඍතු නියමය විතරයි!
අපිට අමාරුම දේ වෙන්නේ ඒක තේරුම්ගන්න එක නෙමෙයි. තෙරුම්ගත්තත් ඒක පිළිගන්න එකයි අමාරුම. මොකද අපි ආදරය කරන මිනිස්සු හැමදාම අපි ළඟ ඉන්න ඕනේ කියලා අපේ හිත විශ්වාස කරනවා. අපි කෙනෙක්ට අපේ ජීවිතය තුළට එන්න ඉඩ දුන්නම, ඒ ඉඩ සදහටම ඔවුන්ගෙන් පිරෙනවා දකින්නයි අපි කැමති. එතකොට ඔවුන් වෙන්වෙලා ගියාම ඇත්තටම අපිට miss වෙන්න ගන්නේ ඔවුන්ව නෙමෙයි, ඔවුන් එක්ක ඉද්දි අපි වෙන්න පුරුදු වෙලා හිටපු අපේම ප්‍රීතිමත් ජීවිතය තමයි අපිට වැඩියෙන්ම miss වෙන්නේ. ඔව් අපි ඔවුන් එක්ක ගෙවන්න පුරුදු වෙලා හිටපු ජීවිතයයි අපිට miss වෙන්නේ. ඒ ලස්සන ජීවිතේ, ඔවුන් අපිට කියපු හෝ නොකියපු හේතුවක් නිසා නැති වුණා කියලා පිළිගන්න අපිට හරිම අමාරුයි. එහෙම කරන්න ඔවුන්ට ඍතු නියමයක බලපෑමක් සිද්ද වුණා කියලා අපි පිළිගන්න අකමැතියි.
ඒත් ජීවිතය අපට සදාකාලිකබවේ පොරොන්දු ලබා දෙන්නේ නැහැ!
සමහර මිනිස්සු අපිට හමුවෙන්නේ අපේ ගමනේ එක්තරා කොටසක් විතරක් අපි එක්ක අත් අල්ලාගෙන යන්න. ඒ කාලය පුරා අපි ඔවුන් එක්ක හිනාවෙනවා අඬනවා මතක එකතු කරනවා, සමහරවෙලාවට අපි ඔවුන් වෙනුවෙන් අපිව වෙනස් කරගන්නවා. නැත්නම් ඔවුන් අපි වෙනුවෙන් වෙනස් වෙනවා. නමුත් ඔය මොනදේ වුණත් සදාකාලික බැඳීම් මේ ලෝකේ නැහැ. අවසානයේදී, අපේ මාර්ග වෙනස් දිශාවන්ට හැරෙනවා.
ඒකෙන් මෙතක් අපි ඔවුන් එක්ක ආ ගමන බොරුවක් වෙන්නේ නැහැ. ඒ මතක බොරුවක් වෙන්නේ නැහැ. ඒ ආදරය බොරුවක් වෙන්නේත් නැහැ. ඔයා එහෙම හිතනවා විතරයි ඔයාගෙම වේදනාව අවම කරගන්න ඕනේ නිසා.
මිනිස්සුන්ගේ වටිනාකම තීරණය වෙන්නේ එයාල කොච්චර කාලයක් අපි ළඟ හිටියද කියන එකෙන් නෙමෙයි. එයාල අපේ ජීවිත ඇතුළේ කොයිතරම් ගැඹුරින් එයාලගේ සලකුණ තැබුවාද කියන එක උඩයි. ඒ නිසා, ඔයාගේ ජීවිතයෙන් කෙනෙක් ගිලිහී ගිහින් නම්, හැමවෙලාවෙම ඔයාගෙන්ම අහන්න එපා 'ඇයි එයාට මාව වටින්නේ නැති වුණේ?' කියලා. ඒක ඔයාගේ අඩු පාඩුවක් නිසා සිද්ද වුණු දෙයක් නෙමෙයි. එහෙම වුණේ , ඒ ඍතුව අවසන් වෙලා ඔවුන්ට වෙනත් ඍතුවකට ඇතුළු වෙන්න සිද්ද වුණු නිසයි.
කොළ බිම වැටුණාට පස්සේ ගහ හිස් වෙනවා. ඒත් ඒ හිස් අතු අතරින්ම ඊළඟ වසන්තයේ අලුත් දළු කොළ ලියලනවා.
ජීවිතයත් ඒ වගේ. ඔයා කැමති වුණත් නැතත් ඒ දේ ඒ විදිහට සිද්ද වෙනවා. අපිට අහිමි වෙන හැමදේම අපේ ජීවිතය හිස් කරන්න එන්නේ නැහැ. සමහර අහිමිවීම්, අපේ ඇතුළේ අලුත් ඉඩක් හදනවා. අපිට ආයෙමත් අලුත් හුස්ම ගන්න, ඒ ඍතු නියමයේ පාඩමෙන් අලුත් වුණු අපිවම හඳුනාගන්න, නැවත දළු දාන්න ඒ මිනිස්සුන්ගේ හිස්තැන් අපිට ඉඩ හදනවා.
සමහරවිට දවසක ඔයා ආපහු හැරිලා බලද්දී, එදා ඒ 'අහිමිවීමක්' කියලා පෙනුණු දේ, ඇත්තටම ඔයාගේ ජීවිතයේ ඊළඟ ඍතුවට යන්න, ඔයාව upgrade කරවන්න සිද්ද වුණු ආශිර්වාදාත්ම ඍතු මාරුවක් බව ඔයාටම තේරෙයි. ඒ නිසා කෙනෙක් ඔයාගේ ජීවිතයෙන් ගියා නම්, ඔහුට හෝ ඇයටවත් ඔවුන් ඊළඟ ඍතුව ගෙවන්න තෝරාගන්න අනිකාටවත් වෛර කරන්න ඕන නැහැ. තමන්ටම දොස් පවර ගන්න ඕනත් නැහැ. ඔය දෙන්නම තමන්ට එක්ව ගත කරන්න තිබුණු ඍතුව අවසන් කළා විතරයි. ඒක එච්චරයි!
හැම හැලෙන කොළයක්ම අහිමි වීමක් නෙමෙයි. සමහර කොළ හැලෙන්නේ, ගහට නැවත දළු දාන්න ඉඩ දෙන්න. ඒ වගේම, සමහර මිනිස්සු අපේ ජීවිතවලින් නික්ම යන්නේ, අපේ කතාව අවසන් කරන්න නෙමෙයි, අපේ ඊළඟ ඍතුව ආරම්භ කරන්න ඉඩ හදන්න.
මේ අගෝස්තු, ඊළඟට සැප්තැම්බරෙන් පටන් ගන්නේ ශරත් ඍතුව. සමහරවිට ඒ ශරත් ඍතුවේදී ඔයාට ආපහු ඔයත් එක්ක අත් අල්ලගෙන තව ඍතු කිහිපයක් යන නැත්නම් මරණයේ ශරත් ඍතුව එනතෙක්ම ඔයාගේ අත අත්නොහැර ළඟ ඉන්න නියමිත කෙනෙක් හම්බවෙන්නත් පුළුවන්.
වස්තුවේ...,
ඔයාගේ අතේ අල්ලවල් දෙකම හොඳට දිගාරින්න. දැන් අත්ලවල් දෙකේම මහපටගිල්ලත්, දඹරගිල්ලත් එකිනෙක ස්පර්ශ වෙන විදිහට තියාගෙන Gyan Mudraවට එන්න. කොන්ද හොඳින් දිගෑරගන්න. (ඔයා පුටුවක වාඩි වෙලා හිටියත් ගැටළුවක් නැහැ.)
දැන් ඔයාගේ උදරය, පපුව, උරහිස් මේ ඔක්කොම පිරිලා යන හොඳ ගැඹුරු හුස්මක් ගන්න. දැන් ඒ හුස්ම රඳවගෙන 5, 4, 3, 2, 1 කියලා හිතින් ගණන් කරගෙන ගිහින් හෙමින් ඒ හුස්ම පහළට දාන්න. හුස්ම පහළට දානකොටත් ඔයාගේ උරහිස්, පපුව, උදරය හෙමින් නැවත හැකිලෙන විදිහ ගැන අවධානය දෙන්න කැමතිනම් ඒ විදිහට තව වතාවක් දෙකක් අවබෝධයෙන් හුස්ම අරන් හුස්ම පිට කරන්න.
පොඩි සැහැල්ලුවක්, සන්සුන් බවක් දැනුණා නේද ?
හරි, දැන් ඔයාගේ අලුත් ඍතුව වෙනුවෙන් සුදානම් වෙන්න!
-Yesha Fernando-
