"Koi no yokan" කියන්නේ ආදරය ගැන ජපන් සංස්කෘතිය ලෝකයට දායාද කරපු අතිශය සුන්දර සංකල්පයක්. සන්සුන් ජපන් ජාතිකයින් ඔවුන්ගේ ගැඹුරු සිතීම් එක්ක මේක හඳුනාගත්තට මේ ඔවුන්ට විතරක් අයිති දෙයක් නෙමෙයි. අපි හැම කෙනෙක්ම ජීවිතේ එක් වරක් හෝ මේ 'දෙවැනි බැල්මෙන් ඇතිවෙන ආදරය' අත්විඳලා තියෙනවා නැත්නම් අත්විඳින්න නියමිතයි. සමහරවිට මෙතෙක් අපි හඳුනාගෙන තියෙන්නේ ආවේගශීලි, දවස් කිහියක් සතියක් දෙකක් තුනක් තුළ ජීවිතයට කඩා වදින ආදර කතා ගැන. නමුත් ඛේදවාචකය තමයි මේවා මේ මල් වෙඩි පත්තු කරන එන වේගෙන්ම නිවිලා යන එක. අපිට ඒ මිනිස්සු තුළත් ඒ මිනිස්සුන්ට අපි තුළත් දිගු කාලීනව රඳා පවතින හැඟීමක්, බලපෑමක්, වෙනසක් කරන්න බැරි වෙන එක. ඒවා මතක විදිහට යම් කාලයක් පැවතිලා හෙමින් මැකිලා යනවා.
නමුත් ගැඹුරුව, නිහඬව, කාලය එක්ක මල් පිපෙන තවත් සමහර හමුවීම් තියෙනවා. මේවල විශේෂත්වය තමයි ඒවා සිදුවන මොහොතේ අපිට කිසිම ආදර ආවේගයක් දැනෙන්නේ නැහැ, බඩේ සමනල්ලු පියාඹන්නෙත් නැහැ. කිසිම පොරොන්දුවක්, බලාපොරොත්තු දීමක් සිද්ද වෙන්නෙත් නැහැ. මේක හරිම සාමාන්‍ය හමුවීමක් වගේ තමයි පෙන්නේ. එහෙත් හදවතේ කොතැනකින් හරි නොපෙනෙන කටහඬක් මතුවෙලා ඔයාට කියනවා "මේක කම්මැලි හිතෙන තරම් සාමාන්‍ය හමුවීමක් තමයි හැබැයි ඉස්සරහට මොකක් හෝ දෙයක් වෙන්න නියමිතයි. මේ හමුවීම පටන් ගත්තා විතරයි තවම අවසන් වෙලා නැහැ." කියලා.
නමුත් ඛේදවාචකය තමයි හුඟක් වෙලාවට හයි ස්පීඩ් ආදර ආවේගවලට, හමුවෙලා දවසින් දෙකෙන් ආදරෙයි කියන ආදර කතන්දරවලට හුරු වෙලා ඉන්න අපි හුඟක් වෙලාවට මේ වගේ සාමකාමී හමුවීම් එතැනින් පස්සේ නොසළකා හරිනවා. සමහරවිට ඔවුන් අපිට නැවත හමුවීමකට කතා කළත් අපි ඒක නොසළකා හරිනවා. මොකද අපි ආකර්ෂණය වෙලා ඉන්නේ, අපි හති දාගෙන දුවමින් ඉන්නේ අර පළමු බැල්මෙන් ආදරය ප්‍රකාශ කරපු පිස්සු මකරාගේ හැඟීම පස්සෙන්. අපි ආදරය කියලා අඳුනන්නේ ඒක. ආදරයේ සාමය කියන්නේ මොකක්ද කියලා අපි දන්නේ නැහැ. අපිට ඒක හුරු නැහැ. ඒ නිසා සමහරවෙලාවට අපි ජීවිතේ අපිට ලැබෙන්න නියමිතව තිබුණු හොඳම ආදර කතාව මඟහැර ගන්නවා.
හැබැයි ඔයා දෙවැනි වතාවටත් මේ 'දෙවැනි බැල්මෙන් ඇතිවන ආදරය' ආකාරයේ හමුවීමකට ඉවසීමෙන් ඉඩ දීල බලන් හිටියොත්, ඔයා ඔයාගේ මනසේ, හදවතේ සියලු දොරටු විවර කරලා අවබෝධයෙන් බලන් හිටියොත් ඔන්න ඔයාට ඒක දැනෙන්න ගන්නවා. ඒ මිනිස්සුන්ගේ ඇස් බැල්ම යටදී ඔයා අනුරාගයෙන් තෙත් වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔයාට ඒ මිනිස්සු ඔයා දිහා බලන බැල්මකින් පවා ආරක්ෂාවක්, නිවීමක්, සැනසීමක් දැනෙන්න ගන්නවා. ඔවුන්ගේ දෑස් ස්වභාවයෙන්ම දයාර්දයි. ඒවා ඔබට දෙවැනි සතියෙම ඇඳකට නගින්න කතා කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් නිහඬව කාලය ගනිමින් ඔයාට කාලය ලබා දෙමින් පළමුවෙන් විශ්වාසයත්, මිත්‍රත්වයත් ස්ථාවර කරගන්නවා.
මල්වෙඩි පත්තු කරන් ආපු මිනිස්සුන්ගේ ක්‍රියාවන්වල, දෑස්වල නොතිබුණු රැඳී ඉදීමේ, දිගු ගමනක් එකට අත් අල්ලාගෙන යාමේ අරමුණක් ඔයාට මේ 'දෙවැනි බැල්මෙන් ආදරය ඇතිකරවන' මිනිස්සුන්ගේ දෑස්වල දකින්න ලැබෙනවා. ඒවල කිසිම හදිසියක් නැහැ. මොකද ඔවුන්ටත් අවශ්‍ය දිගු කාලීන, ස්ථිර යමක් නිසා ඔවුනුත් ඉන්නේ ඔයාව මොනිටර් කරමින්. මේ හැමදේටමත් වඩා විශේෂම දේ තමයි ඔවුන් සුරංගනා කතා වර්ගයේ රොමෑන්තිකබාවයක් පෙන්වන්නේ නැහැ. ඔවුන් වචනවලින් හැඟීම් විස්තර කිරීමේ වෙහෙසක් දරන්නේ නැහැ. ඔවුන්ගේ ආදරයේ භාෂාව තමයි ක්‍රියාවන්. ඔවුන් ඇතැම්විට ඔයා කියන්නත් කලින් ඇතම් දේ සපුරලා දෙනවා. ඔයාගේ ජීවිතේ අසනීපයකදී, අමාරු තැනකදි, දුර ගමනකදි ඔයා තනියි කියන හැඟීම ඔවුන් ඔයාට දැනෙන්න දෙන්නේ නැහැ. ඔවුන්ගේ ක්‍රියාවන් හැමවෙලේම ඔවුන්ගේ වචන එක්ක ගැළපෙනවා. ඒකට අපි කියනවා 'ප්‍රේමයෙහි පරිණතබව' කියලා.
මේ වගේ ආදරයක් වෙනුවෙන් ඔයා තුළ ඉවසීමක් ඇතිවෙන්නේ ඔයා ආදරය කියල හඳුනගත්ත හුඟක් දේවල්වල සත්‍ය ස්වභාවයෙන් ඔයා හති වැටුණට පස්සෙයි. අන්න එහෙම එක් අවසන් මොහොතකින් පස්සේ එක ක්ෂණික අකුණු ආලෝකයක් වගේ ඔයා තුළ ඉතිරි මුළු ජීවිතකාලයම වෙනුවෙන් ආදරය ගැන හරිම අවබෝධය ඇති වෙනවා. එතැනින් පස්සේ ඔයා කවදාවත් ඔයාගේ ජීවිතේ ඇතුළේ Intense ආදර ආවේග අරන් එන මිනිස්සුන්ට දොරවල් අරින්නේ නැහැ. නොහිතන වේගයෙන් ගොඩනැගෙන දේවල් කියන්නේ ස්වභාවයෙන්ම නොහිතන වේගයෙන්ම කඩන වැටෙන්න නියමිත දේ බව ඔයා දැන් දන්නවා. දිගුකාලීන යමක් නම් එය හෙමින් ගන්න ආරම්භයක් සහිත එකක් වෙන්න ඕනේ බව ඔයා දැන් පැහැදිලිවම දන්නවා.
එහෙම ආදරයක් අකුණු සැරයක් වගේ ජීවිතයට කඩා වැටෙන්නේ නැහැ. එහෙම ආදරයක් හරියට උදෑසන ඉර උදාවට කලින් ඉතාම හෙමි හෙමින් අහස රන්වන්ව ආලෝකමත් වෙන්න පටන් ගන්න නිහඬ මොහොතක් වගේ. ඉර තවම පේන්න නැහැ, ඒත් ඉර හෙමින් පායමින් එන බව අහස දන්නවා. අන්න ඒ වගේ, මෙහෙම හමුවීමකදී ආදරයක් ගැන කතාවක් එකපාරට ඇතිවෙන්නේ නැහැ, ඒත් ඒක හෙමින්, හරිම දවසකදී ඇතිවෙන්න නියමිත බව ඔවුනුත් ඔයත් දන්නවා.
ඒ තමයි Koi no yokan. ආදරය තවමත් ඉපදිලා නැහැ, නමුත් එය පැමිණෙන බව හදවත දන්නා ඒ අපූරු පූර්ව හැඟීම...ඒක වචනයෙන් විස්තර කරන්න අපහසු සාමකාමී බවක් ඔයාට දනවනවා.
සැබෑ බැඳීම් බොහෝවෙලාවට ආරම්භ වන්නේ ලොකු සද්ද බද්ද එක්ක නෙමෙයි. ඒවා ආරම්භ වන්නේ නිහඬ බැල්මකින්, පැහැදිලි කළ නොහැකි හුරුපුරුදු සිනහවකින්, හේතුවක් දෙන්න තේරෙන්නේ නැති සැනසීමකින්, සහ කාලය පවා තවමත් නොදන්නා අනාගතයක් ගැන හදවත කලින්ම විශ්වාස කරන මොහොතකින්.
සමහරවෙලාවට විශ්වයෙන් නිර්මිත ප්‍රේමයේ මොහොතවල් ඝෝෂාකාරී නැහැ. ඒ වගේ මොහොතවල් අපේ ජීවිතය ගාවට ඇවිත්, ඉතා මෘදු විදිහට මුමුණනවා. හෙමි හෙමින් අපිට ඇහෙන්න ගන්න ඒ මිමිණුමේ හඬට නමක් තියෙනවා...
ඒ නම තමයි Koi no yokan - දෙවැනි බැල්මෙන් ඇතිවන ආදරය!
-Yesha Fernando-
