'ඔයාට වැඩියෙන්ම ආදරේ කරපු මනුස්සයා ඔයාට දුන්නු හොඳම තෑග්ග මොකක්ද ?'
දවසක් අලුත් ආදරයක් ගැන කතාවක් මගෙත් එක්ක කියමින් ඉදපු අවුරුදු 25 ක විතර ගැහැනු ළමයෙක් මගෙන් අහනවා.
'මට වැඩියෙන්ම ආදරේ කරපු මනුස්සයා හුඟක් වැඩ කරපු මනුස්සයෙක්, ඉතිං එයා මට දුන්නු වටිනම තෑග්ග තමයි එයාගේ කාලය.' මං කියනවා.
'අයියෝ කාලය ඉතිං හැමෝම දෙනවනේ, මං අහන්නේ එහෙම නෙමෙයි. මොනවද වටිනම gift එක ඔයාට හම්බුණු. මං කියන්නේ phone එකක්, branded dress එකක් වගේ'
'නෑ මට එයාගෙන් හම්බුණු හොඳම තෑග්ග තමයි කාලය. කොටින්ම එයාට client lobby එකක චිත්‍රයක් එල්ලන මොහොතකවත් මාව අමතක වෙලා නැහැ. ඒ මොහොතටත් මං ආස මොනා හරිම දෙයක් දැක්කොත් එයා මට ඒක කියලා message එකක් හරි එවනවා. එතකොට ඒ මොහොතටවත් එයාට මාව අමතක නැහැ කියලා මට දැනෙනවා. සමහර දවස්වලට ඔෆිස් එක පේන මානේ එයා ට්‍රැෆික් එකේ හිරවුනාම, ටුක් එකෙන් බැහැල ඒ ටික දුර හති දාගෙන පයින් එනවා. මාව, මගේ කාලය මඟ රස්තියාදු කරන්න බැරි කමට. ඉතිං එයා මට ආදරේ දනවපු වටිනම තෑග්ග තමයි එයා මං වෙනුවෙන් දුන්නු එයාගේ කාලය.'
'හරි එහෙනම් එයා ඔයාට නුදුන්නු දෙයක් තියෙනවද ?' ඇය මගෙන් අහනවා
'ඔව් ඒත් කාලයම තමයි'
'ඔයා කියන ඒවා තේරෙන්නේ නෑ මට.' ඇය මැසිවිලි නගනවා
'එහෙම කාලය දුන්නු මනුස්සයෙක්ගේ ජීවිතේ ඇතුළේ අපි වෙනුවෙන් පුංචිමවත් තත්පර ගණනක් නැතිවෙන, අපිව බලන්න එන්න, නැත්නම් අපි එයාලව බලන්න යන්න යොදවන කාලය අපරාදයක් වගේ එයාලට දැනෙන යුගයක් එන්න පුළුවන්. එහෙම මනුස්සයෙක් තමන්ගේ කාලය අපි වෙනුවෙන් වැය කරන්නේ නැතුව ඉන්න තීරණය කරනවා කියන්නේ ඔවුන්ට තවදුරටත් අපේ පැවැත්ම ඔවුන්ගේ ජීවිත ඇතුළේ පරිස්සම් කරගන්න අවශ්‍ය නැහැ කියන එක. ඉතිං අවසානෙදි එයා මට නොදුන්න වටිනම දේත් එයාගේ කාලයම තමයි.'
'ඉතිං එතකොට?' ඇය අහනවා
'එතකොට අමාරුවෙන් වුණත් නිහඬවම පිටවෙලා එන්න සිද්ද වෙනවා. මොකද කාලය කියන්නේ ඕනෙම මනුස්සයෙක් ළඟ තියෙන වටිනාම, වටිනාම, වටිනාම දේ. මොකද කාලය කියන්නේ ආයේ කිසිම දවසක recover කරන්න බැරිම දේ. ගෙවෙන එක තත්පරයක්වත් ජීවිතේදී ආයේ අපිට ලැබෙන්නේ නැහැ. ඉතිං ඒ වටිනම දේ එයාල දෙන්නේ එයාල ආදරේ කරන, එයාලාට වටින, එයාලට තමන්ගේ ජීවිතය තුළ රඳවාගන්න අවශ්‍ය අයට විතරයි. ඒක එයාල නොදෙන්නේ එයාලට නොවටින, එයාල ආදරේ නොකරන, එයාලට තවදුරටත් පරිස්සම් කරගන්න අවශ්‍ය නැති අයට. ඉතිං එතකොට එතනින් දෙන පණිවිඩය මොකක්ද කියලා ඔයාට තේරෙනවනේ'
ඔයා තවම පුංචියි, ඒත් විශේෂයෙන්ම පිරිමියෙක් ඔයාට ඇත්තටම ආදරේද කියලා තේරුම්ගන්න මං ඔයාට පොඩි දෙයක් කියලා දෙන්නම්. පිරිමියෙක් තමන්ගේ කාලය සහ මුදල් වැය කරන්නේ, ආයෝජනය කරන්නේ තමන්ට ඇත්තටම වටින, තමන් ඇත්තටම ආදරේ කරන ගැහැනියක් මත විතරයි. එහෙම නොවෙන ගැහැනු වෙනුවෙන් ඔවුන් වැය කරන්නේ වචන විතරයි. ඔන්න ඔය ටික දිහා අවධානෙන් බලන් හිටියොත් ඔයාට පුළුවන් වෙනවා, ලොකු රිදීමකින් තොරව නොගැළපෙන තැන්වලින් ඈත් වෙන්න.
හැම වෙලාවකම වචනත් ක්‍රියාවනුත් එකිනෙක ගැළපෙනවද බලන්න. මේක ගැහැනු සම්බන්ධයෙන් වුණත් එහෙමයි.
විශේෂයෙන්ම ගැහැනු එයාලගේ අභ්‍යන්තරයේ තියෙන, එයාල කව්රුහරි එයාලගේ ඇස්වලින් කියවගන්නකම් බලාගෙන ඉන්න ඒ කතන්දර වෙලාව අරන් වචනවලින් දිගහරින්නේ ඔවුන් විශ්වාස කරන, ආදරේ කරන, ඔවුන්ට වටින පිරිමියෙක් ළඟ විතරයි. නැත්නම් ඔවුන් වෙන දාහක් කතන්දර කියවනවා, හැබැයි තමන්ගේ කතන්දරේ කියන්න හිතන්නේ නැහැ.
'ඒක ලොකු දිග කතන්දරයක්' කියලා යමෙක් තමන්ගේ කතාව නොකියා ඉන්න හේතු හොයද්දි.
'කියන්න, මට අහන් ඉන්න වෙලාව තියෙනවා.' කියලා යමෙක් කියනවනම්, ඔහු හෝ ඇය ඒ අනෙකාට පිළිගන්වන්නේ තමන් ළඟ තියෙන වටිනාම දේ 'කාලය'. හැබැයි මේ පිළිගැන්වීමත් එක්ක එන විශ්වාසයේ බර සහ වගකීම ගැන සම්පුර්ණ අවබෝධයකින්ම නෙමෙයි ඔවුන් එහෙම කියන්නේ. ඒ මොහොතේ දැනෙන ආකර්ෂණයකට හෝ වෙන යම් හැඟීමකට අනුවයි. නමුත් ඒ ඇහුම්කන් දීමෙන් ඇතිවුණු විශ්වාසයේ බර දැනෙන්න ගන්නකොට හුඟක් මිනිස්සු අතරමඟින් පැනලා යනවා, නැත්නම් ඔවුන් පෙන්වපු ස්වරූපයෙන් සපුරාම වෙනස් නොසැළකිලිමත්, සීතල මනුස්ස ස්වරූපයන් ආරෝපණය කරගෙන අනෙකාට තමන්ව හැර යන්න මඟ සලසනවා.
අන්න ඒකයි ඛේදවාචකය!
කෙනෙක්ට වෙලාව අවම වෙන එකයි, එයා කෙනෙක් වෙනුවෙන් වෙලාවක් වෙන් නොකරන එකයි කියන්නේ දෙකක්. ඒ දෙකේ වෙනස තේරුම්ගන්න ගැහැනියකටත්, පිරිමියෙකුටත් පුළුවන් වෙන්න ඕනේ.
“එයා busy” කියලා අපි සමහරවිට අපිටම බොරු කියාගන්නවා.
ඒත් කෙනෙක්ට අපි වෙනුවෙන් විනාඩි පහක්වත් නැත්නම්, ඒ විනාඩි පහ හොයාගන්න ඔහු හෝ ඇය කිසිම උත්සාහයක් දරන්නෙත් නැත්නම්, සමහරවිට ප්රශ්නය ඔවුන්ගේ කාලය නෙමෙයි. ප්රශ්නය අපි ඔවුන්ගේ priority list එකේ කොතනද ඉන්නේ කියන එකයි. වරක් ඔවුන්ගේ කාලයෙන් වැඩිම වෙලාවක් ඔයා මත යොදවපු යමෙක්ගේ ජීවිතය තුළ ඔහු හෝ ඇය සියලු වැඩ අවසන් කරලා එනකම් බලන් ඉන්න, ඇතැම්විට ඒ බලා හිදීමේ අවසානයේ පවා යමක් නොලැබෙන කෙනා වෙන එක අතිශය වේදනාකාරියි, කලකිරීම් සහගතයි.
ඒ නිසා කෙනෙක්ගේ “මං ඔයාට ආදරෙයි” කියන වචනවලට වඩා, ඔවුන්ගේ ජීවිතය ඇතුළේ ඔයාට තියෙන ඉඩ දිහා බලන්න.
කෙනෙක් “මට ඔයාව මතක් වෙනවා” කියන වචනවලට වඩා, ඔයාව මතක් වුණාම ඔවුන් කරන දේ දිහා බලන්න. මොකද ආදරේ කියන්නේ වචන විතරක් නෙමෙයි. ආදරේ කියන්නේ නැවත නැවතත් තෝරාගැනීම ක්‍රියාවට නැගීම.
මිනිස්සු තමන්ගේ හදවතේ දොරවල් හැමෝටම අරින්නේ නැහැ. සමහර මිනිස්සු තමන්ගේ ජීවිතයේ ලස්සනම කතා වගේම දුක්බරම කතා නොකියම අවුරුදු ගණන් ජීවත් වෙනවා. ඒත් එක දවසක කෙනෙක් ඉස්සරහා ඉඳගෙන, “මේක මං කාටවත් කියලා නැහැ…” කියලා පටන් ගන්නවා නම්, ඒ මොහොතේ ඔවුන් ඒ අපිට දෙන්නේ ඔවුන්ගේ විශ්වාසය. ඒක අහගෙන ඉන්න තීරණය කරනවනම් අපි ඒ ඔවුන්ට දෙන්නේ අපි ළඟ තියෙන වටිනාම දේ, කාලය.
මේ ජීවිතේදී, නොහිතන වෙලාවල්වලදී...,
සමහරු අපිව හොයාගෙන එනවා.
සමහරු අපිව අහගෙන ඉන්නවා.
සමහරු අපිව මතක තියාගන්නවා.
සමහරු අපේ ලෝකයට පහසුවෙන් ඇතුළු වෙනවා.
සමහරු ඔවුන් සතු වටිනාම දේ ඔවුන්ගේ කාලය අපිට දෙනවා.
ඒත් පස්සේ එක දවසක ඔවුන්ට අපි වෙනුවෙන් ඒ දේවල් කරන්න අවශ්‍ය නැති වෙනවා.
කෙනෙක්ට ඔයා වෙනුවෙන් වියදම් කරන්න පුළුවන් මුදල් ඉවර වෙන්න පුළුවන්. ඔයා වෙනුවෙන් කියන්න පුළුවන් වචනත් ඉවර වෙන්න පුළුවන්. ඔයාට දෙන්න පුළුවන් තෑගිත් කවදාහරි ඉවර වෙන්න පුළුවන්. ඒත් ඔහු හෝ ඇය ඔයා වෙනුවෙන් දුන්නු කාලය? අන්න ඒ කාලයත් නැති වෙනවනම්...
ඔවුන් ඔවුන්ගේ වචනවලින් මොනවා කියමින් හිටියත් ඔවුන්ගේ ඒ නොදෙන කාලය අපිට අපේ උත්තරේ දෙනවා. අකමැති වුණත් ඒ උත්තරේ පිළිගන්න තරම් ශක්තිමත් වෙන්න, ඒ හාම වෛරයේ අංශු මාත්‍රයකින් තොරව හැර එන්න තරම් මෘදු වෙන්න.
මොකද ආදරේ කියන්නේ කෙනෙක්ව අපහසුවෙන් රඳවගෙන ඉන්න එක නෙමෙයි. කෙනෙක් තමන්ගේ කාලයෙන් අපිව තෝරාගන්නා තුරු ඔවුන් ළඟ රැඳිලා ඉන්න එකත්, ඔවුන් තවදුරටත් අපිව තෝරා නොගන්නා මොහොතෙදි ඔවුන්ව අතහැරලා නිහඬවම පිටවෙලා එන එකත් ආදරේම කොටසක්.
කෙනෙක්ට ආදරේ කරනවාටත් වඩා අමාරුම දේ කෙනෙක් තවදුරටත් අපිට ආදරේ නොකරන බව පිළිගන්න එක. ඒත් තමන්ගේ වටිනාම දේ, තමන්ගේ කාලය අපි වෙනුවෙන් තවදුරටත් වියදම් නොකරන කෙනෙක් ළඟ, අපේ ඉතිරි ජීවිතය වියදම් නොකර ඉන්න තරම් අපි අපිටම ආදරේ වෙන්න ඕනේ. මොකද අපේ කාලය කියන්නෙත් අපි ළඟ තියෙන වටිනාම දේ. ඒකත් ආපහු recover කරන්න බැරි දෙයක්. අපි කෙනෙක්ටත්, ඒ කෙනා අපිටත් එකිනෙකාගේ කාලය දෙන හැම මොහොතකම, ඇත්තටම අපි ඒ දෙන්නේ අපේ ජීවිතයෙන් කොටසක්.
ඒ නිසා…
ඇත්තටම ආදරේ කව්රුම හරි ඔයාට දෙන හොඳම තෑග්ග ඔවුන්ගේ කාලය බව මතක තියාගන්න. ඔයාගේ කාලය ඔයාගෙන් උදුරගෙන ඔයාව වේදනාවේ කලුකුහර තුළට තල්ලුකරලා දාන ටයිම් වැම්පයර්ස්ලගෙන් කරුණාකරලා ඈත් වෙලා ඉන්න.
-Yesha Fernando-
