ගෙම්බෙක්...!
ඔව්, ගෙම්බෙක් එක්ක ඔයාට මුහුද ගැන කතා කරන්න පුළුවන්ද ? බැහැ! ගෙම්බෙක් එක්ක ඔයාට මුහුද ගැන කතා බැහැ! ගෙම්බෙක් එක්ක ඔයාට කතා කරන්න පුළුවන් ඌ ජීවත් වෙන පොකුණ ගැන විතරයි. මොකද ඌ දන්නේ පොකුණ ගැන විතරයි. ඌගේ මුළු ලෝකයම පොකුණ විතරයි. ඊට එහා ගිය විශාල ලෝකයක් ගැන ඌට අදහසක් නැති වෙන්න පුළුවන්.
මිනිස්සුත් ඒ වගේ.
හැම ආදරයක්ම හැම හදවතකටම දරාගන්න බැහැ. කෙනෙක්ට ආදරයක් දරාගන්න පුළුවනුත්, ලබාදෙන්න පුළුවනුත් එයාලගේ හැකියාවේ ප්‍රමාණයට විතරයි. එයාලා දන්න ගැඹුරේ තරමට විතරයි. ඉතිං ඔයා ආදරේ තරම් එයාට නොතේරුණා කියන එක ඔයාගේ අවුලක් නෙමෙයි වස්තුවේ. එයාට තේරුම්ගන්න සහ දරාගන්න පුළුවන් ප්‍රමාණයට වඩා ඒ ආදරේ විශාල එකක් කියන එකයි ඒකෙන් කියන්නේ.
ආදරය කියන්නේ හැමෝටම තේරෙන එකම සරල පහසු භාෂාවක් නෙමෙයි.
අපි සමහර මිනිස්සුන්ට ආදරය කරන්න පටන් ගන්නේ එයාලව අපේ life project එක කරගෙන . එයාලා වෙනුවෙන් අපි අපේ වෙලාව වෙන් කරනවා, එයාල ගැන පුංචි පුංචි දේවල් මතක තියාගන්නවා, එයාලා කියන දේවල්වලට වඩා නොකියන දේවල් තේරුම් ගන්න උත්සාහ කරනවා. අපි එයාලගේ සුවපහසු කලාපය වෙන්න උත්සාහ කරනවා. එයාට මහන්සි දවසක එයා ගෙදර ආවම එයාගේ හිත නිදහස් කරගන්න කතා කරන්න පුළුවන් විදිහේ කෙනෙක් වෙන්න අපි හරි කැමතියි. එයාගේ සතුටෙදි වගේම දුකේදීත් ළඟින් ඉන්න අපි කැමතියි. සමහර වෙලාවට එයාටත් නොදැනෙන විදිහට එයාගේ ජීවිතයේ පුංචිම දේවල් පවා අපි අපේ ජීවිතයේ කොටසක් කරගන්නවා.
ඒත් වස්තුවේ, හැමෝම ආදරය දකින්නේ ඔයා දකින විදිහටම නෙමෙයි.
ඔයාට ආදරය කියන්නේ වගකීමක් නම්, අනිත් කෙනාට ඒක එයාගේ විවේක වෙලාව ගත කරගන්න විදිහ වෙන්න පුළුවන්. ඔයාට ආදරය කියන්නේ ඕනෙම මොහොතක එකිනෙකා වෙනුවෙන් පෙනී සිටීම වෙනකොට, අනික් කෙනාට ඒක තමන්ට පහසු වෙලාවට විතරක් මතක් වෙන දෙයක් වෙන්න පුළුවන්. ඔයාට කෙනෙක්ව තෝරාගැනීම කියන්නේ එයා ළඟ හැමදාම රැඳිලා ඉන්න එක නම්, අනිත් කෙනාට කෙනෙක්ව තෝරාගැනීම කියන්නේ එයාව බය කරන, බර කරන ජීවිත බරක් වෙන්න පුළුවන්.
එතන තියෙන්නේ ආදරයේ ප්‍රමාණය ගැන ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. ආදරය ගැන තියෙන එකිනෙකා සතු අවබෝධය අතරේ නොගැළපෙන පරතරයක්.
ඔයාට දැනෙන හැම දෙයක්ම ඒ විදිහටම තව කෙනෙක්ට දැනෙන්න ඕනේ කියල එකක් නැහැ. ඒත් ඔයාට දැනෙන දේවල් කොහොමටවත් නොදැනෙන කෙනෙක් වෙනුවෙන් මුළු ජීවිතයම වැය කරන්නත් ඕනේ කියලා එකකුත් නැහැ.
මෙතනදි අපි කරන ලොකුම වැරැද්දක් තමයි, අපි කෙනෙකුට කොච්චර ආදරය කරනවද කියන එක එයාට ඔප්පු කරන්න උත්සාහ කරන එක. අපි තව ටිකක් ඉවසුවොත් එයාට ඒක තේරෙයි කියලා අපි හිතනවා. තව ටිකක් වැඩියෙන් ආදරය කළොත් එයා වෙනස් වෙයි කියලා අපි හිතනවා. තව ටිකක් කැපවුණොත් එයාට අපේ වටිනාකම වැඩියෙන් දැනෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් තමන්ට ඇත්තටම අවශ්‍ය දේ නොසළකා හරිනවා. තමන්ට රිදෙන දේවල් සාමාන්‍ය දේවල් විදිහට භාරගන්නවා. තමන්ගේ හිතේ තියෙන ප්‍රශ්නවලට තමන්ම උත්තර හදාගන්නවා.
අන්තිමේදී වෙන්නේ මොකක්ද?
එහෙම කැපවෙලා ආදරය කරන්න ගිය මනුස්සයාට තමන්වම අමතක වෙනවා, තමන්වම නැතිවෙනවා.
මං ඔයාට දෙයක් කියන්නද ? හුඟක් දේවල් අපිට මුල ඉදන්ම හොඳට පේනවා. අපි පොට්ට වෙන්නේ අපේ කැමැත්තෙන්. අපි හිතනවා එයාල පස්සේ වෙනස් වෙයි කියලා. ඔව් පස්සේ වෙනස් වෙනවා. හැබැයි ඔයා හිතන විදිහට නෙමෙයි. ආදරය කරනවා කියන්නේ මිනිස්සුන්ව පුනරුත්ථාපනය කරනවා කියන එකට නෙමෙයි. වැඩුණු මිනිස්සු පුනරුත්ථාපනය කර කර ඉන්න ඔයාට වෙන වැඩ නැද්ද ? කාලය කාලා දාන්න එපා! ඒක අපරාදේ.
මතක තියාගන්න, කෙනෙක්ට ඔයාගේ වටිනාකම තේරුම් කරලා දෙන්න ඔයා මුළු ජීවිත කාලයක් ගත කරන්න අවශ්‍ය නැහැ. ඔයාගේ ආදරය ඔප්පු කරන්න daily exam වලට මුණ දෙන්න ඕනෙත් නැහැ. හරි හමන් ඇස් දෙකකට, හදවතකට ඔයා කියන art එකේ වටිනාකම, සෞන්දර්යය, සුවපහසුව පේනවා, ඉතාම පැහැදිලිව.
ආදරය කියන්නේ කෙනෙක්ගේ අවධානය දිනාගන්න කරන තරඟයක් නෙමෙයි වස්තුවේ. තමන්ව තෝරාගන්න කියලා තවත් කෙනෙක් ඉදිරියේ කරන ඉල්ලීමකුත් නෙමෙයි. ආදරය කියන එක ඇතුළේ ඔයාට ඔයා වෙන්න පුළුවන් වෙන්න ඕනේ. කතා කරන්න ඕනේ හැම වචනයක්ම හරිම පරිස්සමට තොර බේරගෙන, හැම හැසිරීමක් ගැනම පරිස්සම් වෙමින්, තමන්ගේ හිත රිදුනත් රිදුනේ නෑ වගේ හිනාවෙලා ඉදගෙන ඔයාට කෙනෙක්ගේ ජීවිතේ ඇතුළේ ජීවත් වෙන්න වෙලා තියෙනවනම් ඔයා ඉන්නේ ආදරේක නෙමෙයි, උද්දච්ච වද කඳවුරක. ඒ විකාර සම්බන්ධය ඇතුළේ ඔයාට අහිමි වෙන්නේ ඔයාගේ නිදහස, ඔයාව.
සමහර මිනිස්සු ඔයාගේ ආදරය ඕනෙවට වැඩියි කියලා කියයි. ඔයා ඕනෑවට වඩා හිතනවා කියල කියයි. ඕනෑවට වඩා බලාපොරොත්තු වෙනවා කියලා කියයි. ඕනෑවට වඩා සංවේදීයි කියලා කියයි.
ඒත් ඇත්තටම ඔයා ඕනෙවට වඩා වැඩිද? මේ ප්‍රශ්නේ ඔයාටම අවංක වෙලා ඔයාගෙම හිතින් අහන්න බලන්න.
නෑ! ඔයා කිසි දෙයක් වැඩිපුර ඉල්ලලා නැහැ. ඔයා ඒක ඉල්ලලා තියෙන්නේ වැරදි මනුස්සයෙක්ගෙන්. දෙන්න කියලා ඒ හැටි දෙයක් නැති emotinally දුප්පත් මනුස්සයෙක්ගෙන්. මලක් පිපෙන්න නම් හරි බිමක් ඕනේ. ඔයාගේ ආදරෙත් ලස්සනට පිපෙන්න නම් සරු මනුස්සයෙකුගේ සරු හදවත් බිමක් ඕනේ.
අනික් අතට අපි කෙනෙකුට ආදරය කරන්න දන්නවා කියලා අපි දෙන හැම දෙයක්ම නිවැරදි වෙන්නේත් නැහැ. අපේ ආදරය විශාලයි කියලා තවත් කෙනෙක් ඒ ආදරය පිළිගන්නම ඕනේ කියලා නීතියකුත් නැහැ. ආදරය කියන්නේ බලෙන් පවරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. ඒක දෙන්නෙත්, භාරගන්නෙත් දෙන්නෙක්ගේ කැමැත්තෙන්. ඒක ද්විපාර්ශ්වික යමක්. ඒ නිසා කෙනෙක්ට ඔයාගේ ආදරය අවශ්‍ය නැත්නම්, ඒක පිළිගන්න තරම් නිදහස් හදවතක් ඔයාටත් තියෙන්න ඕනේ. ආදරය කිරීමේ හැකියාව වගේම, ආදරය නොලැබෙන තැනකින් ඉවත්වීමේ හැකියාව කියන්නේ මාර ජිවිත skill එකක්. ඒක පුරුදු පුහුණු වෙන්න ඕනේ එකක්.
සමහර වෙන්වීම් කියන්නේ පරාජයන් නෙමෙයි. අපේ ජීවිතයේදී අපිට මුණගැහෙන හැම කෙනෙක්ම අපිත් එක්ක අවසානය දක්වා ගමන් කරන්න එන්නේ නැහැ. සමහරු එන්නේ අපිට හරියට ආදරය කරන්න උගන්නලා යන්න. අපේම ඇතුළේ තියෙන අවුල් ටික අපිට පෙන්නලා යන්න. තවත් සමහරු එන්නේ අපිට ආදරය වෙනුවෙන් කොච්චර දේවල් කරන්න පුළුවන්ද, කොච්චර දේවල් අතාරින්න පුළුවන්ද කියලා පෙන්නලා යන්න.
ඔය හැමදේකම එක පාඩමක් තියෙනවා. එක පණිවිඩයක් තියෙනවා. ඒ තමයි පොකුණුවල ගිලෙන්න යන්න එපා එතකොට ඔයා මුහුදට බය වෙනවා කියන එක.
ඔයාට තවමත් ලස්සන ආදරයක් ලැබෙන්න ඉඩක් තියෙනවා. ඔයාගේ පුංචිම සතුටක් පවා වැදගත් වෙන, ඔයාගේ නිහඬකම තේරුම් ගන්න උත්සාහ කරන, ඔයාගේ පැවැත්ම එයාගේ ජීවිතයට වටිනාකමක් විදිහට එකතු කරගන්න කෙනෙක් මුණගැහෙන්න ඉඩක් තියෙනවා. එහෙම කෙනෙක් මුණගැහෙනකම් ඔයාගේ හදවත හිස් තැනක් විදිහට තියාගන්න ඕනේ නැහැ. එතකම් ඔයා ආස දේවල් කරන්න, ඔයාගේ හීනවලට යන්න, ඔයාටම ආදරය කරන්න, ඇවිදින්න, සිංදු කියන්න, කවි ලියන්න, චිත්‍ර අඳින්න. එතකම් තනියම වුණත් සම්පුර්ණ ජීවිතයක් ගත කරන්න.
මොකද ඔයාගේ ජීවිතය කියන්නේ තව මනුස්සයෙක් එනකම් නවත්තගෙන බලන් ඉන්න ඕනේ එකක් නෙමෙයි.
මේ වතාවේ ආදරේ වෙනුවෙන් ඔයා තෝරගත්ත කෙනයි වැරදියි. මුහුදකට තමන්ගේ ගැඹුර ඔප්පු කරන්න අවශ්‍යතාවයක් නැහැ. අහසට තමන්ගේ විසල් බව ගැන කාගෙන්වත් සමාවක්වත්, සහතිකයක් අවශ්‍ය නැහැ. ඔයාටත් එහෙමයි. ඔයාගේ ආදරයේ වටිනාකම නොදන්න කෙනෙක්ට ඒක ඔප්පු කරන්න ජීවිතයම වැය කරන්න ඕනේ නැහැ. ඔයාට ඕනේ ඔයාගේ ජීවිත ගැඹුරට බය වෙන්නේ නැති, ඔයාගේ විශාලත්වය ඉදිරියේ තමන්ව පුංචි කරගෙන ඊළඟට ඔයාවත් ඒ ගාණට පුංචි කරගන්න උත්සාහ කරන්නේ නැති, ඔයා එක්ක එකට අත් පටලගෙන ජීවිතය දිහා බලන්න පුළුවන් මනුස්සයෙක්.
ඒ නිසා, ඔයා මුහුදක් නම්, ගැඹුරට බය මිනිහෙක් වෙනුවෙන් ඔය පොකුණක් වෙන්න ඕනේ නැහැ! ආලෝකයට හුරු නැති අඳුරු මිනිස්සු වෙනුවෙන් ඔයා ඔයාගේ ලයිට් ඩිම් කරගන්න ඕනේ නැහැ!
මුහුදක් තරම් විශාල, ගැඹුරු ආදරයක් තේරුම් ගන්න පුළුවන් අහස තරම් විසල් මනුස්සයෙක්ට විතරයි. ඒනිසා ඊළඟ වතාවේදී ඔයා මුහුද ගැන කතා කරන්න යනවා නම්, අහස වගේ මනුස්සයෙක් හමුවෙනකම් ඒ ගමන යන්න. අතරමඟදී පොකුණුවල හම්බෙන ගෙම්බන්ට මුහුද විස්තර කරන්න යන්න එපා!
-Yesha Fernando-
