හදවත් බිඳිමකින්, අපේක්ෂා සුන් වීමකින් නැතිනම් ඔයාව ඉතා හොඳින් දැන සිටි මිනිසුන් හා එක්ව ඔවුන්, ඔවුන් කෙරෙහි වු ඔයාගේ විශ්වාසය පාවා දීමෙන් පසුව සුවපත් වීම කියන්නේ කොතරම් අපහසු දෙයක්ද?
ඒක පොත්වල, සිනමාපටවල, කතන්දරවල තියෙන තරම් ඉක්මනින් සහ පහසුවෙන් කළ හැකි දෙයක් නෙමෙයි කියලා කව්රුවත් ඔයාට කලින් අනතුරු අගවන්නේ නැහැ.
වස්තුවේ, අන්න ඒ කොටස තමා අමාරුම...
කවුරුත් ඔයාට ඇත්තම ක්‍රියාවලිය මොනවගේද කියලා නිශ්චිතව කියලා දෙන්නේ නැහැ. එහෙම කියලා දෙන්න පුළුවන් නිශ්චිත හැඩයක් සුවපත්වීමට නැහැ.
ඇයි ?
ඒ අපේ දරාගැනීම්, නැවත ගොඩනැගීම්, අපේ ශක්තීන් එකිනෙකාට වෙනස් නිසා සුවපත්වීමේ ක්‍රමවේද සහ කාලය අපි අපිටම අනන්‍ය වෙන නිසයි.
සුවපත් වීම කියන්නේ, ශාරීරික තුවාලයක් සුව වෙනවා වගේම නිහඬව සිදුවන ක්‍රියාවලියක් වුණත්, ඒක එහෙම තුවාලෙක සුවවීමටත් වඩා කල්ගත වෙන්න පුළුවන් දෙයක්.
මුල් සති කිහිපයෙන් පස්සේ ඔයාට හෙමි හෙමින් සැනසීමක් සුවයක් ලැබෙමින් තියෙද්දී එකපාරට දවසක පාන්දර දෙකට ඔයාට ඇහැරෙන්න පුළුවන්. සේරම මතක සිනමාපටයක් වගේ දිගහැරෙන අතරේ අත් කකුල් දිගේ දුවන කැක්කුමක් බවට පත්වෙන තරම් දරුණු වේදනාවකින් පපුව හිරවෙලා කම්මුල් දිගේ කඳුළු බේරෙන්න ගන්න පුළුවන්.
මං ආපහු මුලටම ගිහින්ද ? ඔයාට එහෙම හිතෙන්න පුළුවන්.
නෑ ඒ තමා ඔයා සුවපත්වෙමින් ඉන්න බවේ පළමු ඉගිය. හරියටම තුවාලයක් හොඳවේගෙන යනකොට මතුපිටින් කබොල්ල අල්ලගෙන එද්දී ඇතුළෙන් ඇදුම්කන සියුම් රිදීමක් දැනෙනවා වගේ. පහුවෙනිදා උදේ ඇහැරෙනකොට ආපහු සුවදායක හැඟීමක් තියෙන්න පුළුවන්.
ඒ අතරමැදදී හිත රිදෙන තව දවස් එන්න පුළුවන්.
ඛේදවාචකය තමයි ඔයාට කවුරුත් කියලා නැහැ සුව වෙන්න පටන් ගත්තම ඔයාව මෙතෙක් වළලාගෙන හිටපු අඳුරු දුක්බර හැඟීම්, මතක නැවත මතු වෙන්න පුළුවන් බව. දැන් අපි දැනගමු! ඒකට කියන්නේ emotional release wave කියලා බව. ඒක දත් කැක්කුමක් නැත්නම් පපුව හිරවීමක් වගේ හදිසියේ ඇවිත් චුට්ටක් ඔයාව හුස්මගන්න බැරිවෙනකම් ඒ හැඟීම් රැල්ලෙන් යටකරගෙන ඉදලා බැහැලා තුනී වෙලා යනවා. මොකක්ද ඒ කරන්නේ ? ඒ කරන්නේ ඒ රැල්ල ඉවරවෙනකොට සටන් කරන්නේ, හුස්මගන්නේ, ඒ හැඟීම් පරාද කරන්නේ කොහොමද කියලා ඔයාට තව ටිකක් ශක්තිමත්ව උගන්නන එකයි.
ඉතිං ඔහොම කාලයක් අමතක කරන්න උත්සාහ කරන මතක, රහසේ ගිලගත්ත කඳුළු, ඔයා ඔයාගෙන්ම හංගගෙන හිටපු වේදනාවන්...සමහර වෙලාවට ඒවා එහෙම ඇවිත් ආපහු දොරට තට්ටු කරනවා.
ඒ වෙලාවට හිතෙනවා තමයි
"මම මෙච්චර දුර ආවා නේ කොහොමහරි? ඇයි තවමත් මට මෙහෙම දැනෙන්නේ?" කියලා
ඒත් කවුරුත් නොකියන සුවපත් වීමේ සනාතන සත්‍යය තමයි...අපිට කවදාවත් අපේ තුවාලවලින් 100% කම සුවපත් වෙන්න බැහැ කියන එක. අල්ලලා කෙනිත්තුවොත් පොඩ්ඩක් හරි රිදෙන කැළලක් ඒවලින් ඉතිරි වෙනවා. ඒක තමයි අපේ ජීවිත පාඩම. ඒ කැළල තමයි ඔයාගේ සුවපත්වීමේ පදක්කම.
සුවපත් වීම කියන්නේ කිසිම දවසක ආපහු රිදෙන්නේ නැති කෙනෙක් බවට පත්වීම නෙවෙයි.
සුවපත් වීම කියන්නේ ආපහු රිදෙන බිඳෙන මොහොතකදී ඔයා ඔයාවම තනි නොකරන තමන් වෙනුවෙන් පෙනී ඉන්න, තමන්ගේ වටිනාකම ඉතා හොඳින් දන්න, අනෙක් පුද්ගලයා වෙනුවට තමන්ගෙම සාමය නිහඬවම තෝරගන්න තරම් නිර්භය කෙනෙක් වෙන එකයි. සමහරවිට ඒ තීරණය යම් කෙටි කාලයකට ඔයාටම රිදවන බව සහ එහි රිදුම කෙතරම් වේදනාකාරීද යන්න දැන දැනත් ඒ තීරණය ගන්න එකයි.
කවුරුත් ඔයාට කලින් කියන්නේ නැහැ තමයි ඔවුන් ආදරයෙන් ඔයාව බිඳලා දාන දවසකදී සමහර උදෑසනවල් ඔයාට නැගිටගන්න බැරි තරම් බරට දැනෙන්න පුළුවන් කියලා. ජීවිතය කොහොමහරි ඉස්සරහට ඇදගෙන යන්න උත්සාහ කරන අතරේ, ඇඳෙන් නැගිටින්නත් ශක්තිය හොයන්න සිද්දවෙන දවස් තියෙන්න පුළුවන් කියල.
සුවපත්වීම අතරෙදි සමහර දවස්වල, අපි හිනාවෙනවා, කතා කරනවා, සාමාන්‍ය විදිහට ජීවිතේ, රැකියාවේ වගකීම් ඉටු කරනවා. ඒත් ඇතුළෙන් දැනෙනවා නේද හුස්ම ගන්නත් බැරි තරම් මහන්සි බව.
ඒ දවස්වලටත්, තමන්ටම කරුණාවන්ත වෙන්න ඉගෙන ගන්න එකට තමයි සුවපත්වීම කියන්නේ.
මොකද...හැම දවසක්ම ජයග්‍රහණයක් වගේ දැනෙන්න ඕනේ නැහැ. සමහර දවස්වලදි, ආපහුමත් ශක්තිමත් වෙන්න උත්සාහ කරන එකම ජයග්‍රහණයක්.
කවුරුත් ඔයාට කියන්නේ නැහැ තමයි සුවපත් වීමකදී සමහරවිට කලින් හිටපු මනුස්සයා වෙනස් වෙන්න පටන් ගන්න බව. කුණාටුවකින් එළියට එන මනුස්සයා ඒ කුණාටුව ඇතුළට ඇවිදන් ගිය මනුස්සයම නොවෙන බව මුරකමි කියලා තිබුණත් ඔයා වටේ ඉන්න මිනිස්සුන්ට, ගෙදර අයට යාලුවොන්ට ඔය සාහිත්‍යමය අපබ්‍රංස නොතේරෙන්න පුළුවන්.
එයාලට ඔයාගේ මේ අලුත් විදිහ තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන්, ඒක අයිස් වගේ සීතලයි කියල ඔවුන් චෝදනා කරන්න පුළුවන්. ඒත් ඒ කුණාටුව මැදින් තනියම ඇවිදගෙන ගියපු මනුස්සයා විදිහට ඔයා විඳ දරාගත්ත දේ දන්නේ ඔයා විතරයි නම් අනෙක් මිනිස්සුන්ගේ චෝදනාවන්ට උත්තර දෙන්න ඔයා බැඳිලා නැහැ. පැහැදිලි කිරීම් කරන්න, ඔයාගේ තීරණවලට හේතු කියන්න ඔයා බැඳිලා නැහැ.
ඔවුන් හුරු වෙලා හිටියේ හැමෝවම සතුටු කරන්න උත්සාහ කරපු කලින් හිටපු ඔයාට වෙන්න පුළුවන්. හැම වේදනාවක්ම නිහඬව දරාගත්ත ඔයාට වෙන්න පුළුවන්.
ඒත් දැන්... මෙන්න මේ කුණාටුවෙන් පස්සේ...
ඔයා ඉගෙනගන්නවා තමන්ට තමන්ගෙම සීමා තියෙන බව, කව්රු නැතත් තමන් තමන්ව තෝරාගත යුතු බව, ඒ වගේම ඔවුන්ගේ කැමැත්තකින් තොරව ඔවුන්ව අපි ළඟ රදවා තියාගන්න උත්සාහ කරන එකම අමු මෝඩ විහිළුවක් බව.
ඒ වගේම..., තමන්ට තමන්ව අහිමි කරගෙන රැකගන්න තරම් වටින කිසිම දෙයක් මේ ලෝකේ නැති බව
සුවපත් වීම කියන්නේ...
* පරණ මතක මකලා දාන එකට නෙමෙයි. ඒ මතකවලට තමන්ගේ ජීවිතය පාලනය කරන්න ඉඩ නොදෙන එකට
* අතීතයේ හිටපු තමන්ට මෝඩයා, හරකා, බූරුවා කියලා බනින එක නවත්තලා, තමන්ට පුළුවන් උපරිමෙන් ආදරය කරපු තමන්ගෙම ආත්මය ආදරෙන් වැළඳගන්න එකට
* හැම ප්‍රශ්නෙකටම උත්තර හොයන එක නවත්වලා, සමහර දේවල් ඒ සිද්ද වුණු විදිහටම පිළිගන්න ඉගෙන ගන්න එකට
* කවුරුත් නොදැකපු අඳුරු, කඳුළු රාත්‍රීන් පහුකරලා ඊළඟ දවසේ උදේදීත් තවමත් ජීවත්වීම තෝරගන්න එකට.
* නිශ්චිත අවසානයක් කියන්නේ හැමවෙලේම අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි කියන එක පිළිගන්න ඉගෙන ගන්න එකට
ඉතිං මේ සුවපත්වීමේ ගමනෙදි කවුරුත් නිශ්චිතව අනාවැකි පළ නොකරන එක ලස්සනම දෙයක් සිද්ද වෙනවා
ඒ එක දවසක... ,එක සාමාන්‍ය උදේක...,
කිසිම විශේෂ දෙයක් සිදු නොවී, ඔයාට හදිසි වැටහීමක් ඇතිවෙනවා ඒ තද වේදනාව තව දුරටත් දැනෙන්නේ නැහැ කියලා. "මම හොඳින්" කියලා ඇතුළෙන් හඬක් නැගෙනවා. ඔයා තවමත් සම්පූර්ණයෙන්ම සුව වෙලා නැතිවෙන්න පුළුවන්, තවමත් සමහර කැළැල් පේන්න තියෙන්න පුළුවන්.
ඒත්...,
වෙනදට වඩා පහසුවෙන් හුස්ම වැටෙනවා, ආපහු ගෙදර ආවා වගේ හැඟීමක් ඔයාට දැනෙන්න ගන්නවා. අන්න එතැනදී...තවමත් ගමනේ යම් දුරක් යන්න තිබුණත් ඔයාට පපුව පිරෙන්න නිහඬ ආරම්බරයක් දැනෙන්න ගන්නවා. ඔයා ගැනම මාර ආදරයක් දැනෙන්න ගන්නවා...
'අම්මෝහ් මං ඒ මාරකයත් පැන්නනේ...' කියලා සමහරවිට ඔයාට බකස් ගාලා හිනා යන්නත් ඉඩ තියෙනවා
අන්න ඒක තමයි සුවපත් වීමේ ලස්සනම කොටස...
-Yesha Fernando-
