මගේ ජීවිතේ මං අප්රමාණව ආදරේ දේවල් අල්පය අතරින් එකක් තමයි 'මල් පොකුරු'. ඒත් සාපේක්ෂව මං අඩුවෙන් 'මල් පොකුරු' ලැබුණු ගැහැනියෙක්. මගේ ජීවිතේ මට ආදරේට මල් ලැබෙන්න පටන්ගන්නේ අවුරුදු 30 ත් පහුවුණාට පස්සේ. එතැනින් පස්සේ වුණත්, මං වැඩියෙන්ම මල් ලබලා තියෙන්නේ මට ආදරේ මිනිස්සුන්ගෙන්. එතනදිත් මං ආදරේ මිනිස්සුන්ගෙන් මට මල් ලැබුණු වාර ගණන අල්පයි.
ඒ ගැන මට පසුතැවීමක් නැහැ. ඔවුන් දුන්නේ ඔවුන්ට දෙන්න හැකියාවක් තිබුණු ප්රමාණයට බවත් එයින් මගේ වටිනාකම තීරණය නොවන බවත් මං දන්නවා. කොහොමවුණත් හැම ගැහැනියෙක්ටම 'මං ආස මෙන්න මෙහෙම පිරිමියෙක්ට' කියලා සිහිනයක් තියෙනවනේ.
ඉතිං මල්, සිතුවම්, නිහඬතාවය, ප්රේමය සහ කුඩා කුඩා දේවල්වලට සංවේදී, ආර්ටිස්ටික් සෝල් එකක් තියෙන පිරිමියෙක්ව මං මගේ පළවෙනි නවකතාව - Floramar; කුසුම් නිවස්නය ඇතුළේ මවනවා. ඒ, 'දීප්'! ඔහු, ඔහු ගරු කරන වැඩිහිටි ගැහැනියකට පවා පුරුද්දක් විදිහට බේබි'ස් බ්රේත් මල් මිටක් ගෙනියන පිරිමියෙක්. ඔහු තමන් අතිශය ආදරය කළ එහෙත් අහිමිවූ ගැහැනියගේ සුවඳ සිහිගන්වන්න තමන්ගෙම බීච් විලා එක වටේ පරිස්සමට, ආදරෙන් නඩත්තු කරන වැල් රෝස උයනක් වවපු, වැන්ගෝගේ 'තරු විසුළ රැය' වගේ මැජිකල් පිරිමියෙක්. දිව්යමය ඉවසීමක් සහ මඟ බැලීමක් දරපු පිරිමියෙක්.
2024 ඉදන් 2025 ට වෙනකම් මම කුසුම් නිවස්නය ලියනවා. ලියලා 2025 අගෝස්තු ප්රකාශයට පත් කරනවා. 2026 සැප්තැම්බර් මැදක මම Orhan Pamuk ගේ The Museum of Innocence නවකතාව පාදක කරගෙන බිහිවුණු කවියක් වගේ ලස්සන Netflix stroy එක බලනවා. හදවතේ ගැල්සියර් කරගෙන හිටපු යම් යම් දේවල් දියවෙන තරම් කම්පනයක්, අතිශය ආදරයක් මට ඒ කතාව දනවනවා. ඒ හැමදේටමත් වඩා අවසානයේදී මට යම් දෙයක් click වෙනවා. 2025 මම කුසුම් නිවස්නය එළිදක්වනකනුත් මම The Museum of Innocence ඇතුළේ හිටපු අතිශය ආදරණීය, අනුරාගී, obsessive, හුදෙකලා ප්රේමවන්තයා 'කෙමාල්' ගැන නොදැන හිටියත් 2025 දී මම කුසුම් නිවස්නය ඇතුළේ මවපු 'දීප්' සහ 2026 දි මං නරඹන The Museum of Innocence ඇතුළේ ඉන්න 'කෙමාල්' ආදරය සමරන, විඳින, විදවන විදිහේ සෑහෙන සමානකම් තියෙනවා නේද කියලා. ඒක සපුරා අහම්බයක් වුණත් මට ඒ ගැන සියුම් ආඩම්බරයක් දැනෙනවා.
ඒත් මට කියන්න ඕනේ මගේ පොත ගැන නෙමෙයි. ඇත්තටම මට කියන්න ඕනේ ප්රේමයේ අහිමිවීම අපේම අභ්යන්තර වටිනාකමුත්, අනුන්ගේ ජීවිතත් විනාස කරන්න මඟ බලන වසක් විසක් වෛරයක් කරගන්නේ නැතිව ඒ අහිමිවීමෙන් රෝස උයනක් වවන්නේ කොහොමද කියන කතන්දරය යි.
ඔයාගෙම ජීවිතය, ඔයා යන තැනක සුවඳ විලවුන් කුප්පියක් හැර දැම්මා වගේ සුවඳවත් වෙන වර්ගයේ ඕරාවක් තියෙන ආදරණීය මනුස්සයෙක් වෙන තැනට ඒ අහිමිවීම් හරවගන්නේ කොහොමද කියලයි මට කියන්න ඕනේ.
සමහර අහිමිවීම්වලට පස්සේ අපිට කරන්න පුළුවන් ලස්සනම දේ, ඒ අහිමිවීම ගැන ලස්සන කතාවක් හදාගෙන,ඒක රොමෑන්තික කරගෙන, ඒකට හරස් වුණා කියලා හිතෙන හේතුවලට වෛර කර කර ජීවත්වෙන එක නෙමෙයි. ඒ අහිමිවීමෙන් පස්සෙත් සිද්ද විය යුතු වටිනාම සහ නිර්භීතම දේ තමයි අපි තවදුරටත් ඒ ලස්සන මනුස්සයා වෙලාම පවතින එක.
කෙනෙක් අපිව අතහරිනවා හෝ අපිට කෙනෙක්ව අතහැරලා එන්න වෙනවා කියන එකේ තේරුම එතනින් පස්සේ අපි අපිවම අතෑරගන්න ඕනේ කියන එක නෙමෙයි වස්තුවේ. මුලින් ඔයා ඔයාගේ දිහාම හොඳට බලන්න.
තවමත් ඔයා උත්සාහ කරමින් ඉන්නේ 'බලන්න ඔයා පයින් ගැහුවේ මැණිකකට' කියලා පෙන්නන්න නම්
තවමත් ඔයා එයාගේ වටේ ඉන්නවා කියලා හිතෙන මිනිස්සුට කොනම හෝ විදිහක සම්බන්ධයක් හදාගෙන එයාගේ පෞද්ගලික අවකාශයේ සීමාවන් ආක්රමණය කරන්න උත්සාහ කරමින් ඉන්නවනම්
තවමත් ඔයා මොනවා කිව්වත්, ලිව්වත් ඔයා කරන හැම දෙයක් ඇතුළෙම එයාගේ අවධානයගන්න උත්සාහ කිරීම කැපිලා පේනවනම්, ඔයාගේ වචන ඇතුළේ සංයමය නැත්නම් ඒවල වෛරයේ ගිනි පුළිඟු තැවරිලා නම්
ඔයා සුවපත් වෙලා කියලා ඔයා හිතුවත් හැබැයි පිටින් ඉදන් බලන් ඉන්න මිනිස්සුන්ට ඔයාගේ අර්බුධය පැහැදිලිව පේනවනම්;
වස්තුවේ ඔයා සුවපත් වෙලා නැහැ. කණගාටුවෙන් වුණත් ඔයාට තේරුම්ගන්න වෙනවා ඔයා තවමත් කැරකෙමින් ඉන්නේ එයාගේ හෝ එයාලගේ ඕර්බිට් එක වටේ කියන එක.
කෙනෙක් මොනයම් හේතුවක් මත හෝ ඔයාව අතහරින තැනදී, ඔවුන්ව අතහරින්න. ඔයා ඍජුව හෝ වක්රාකාරව ඔවුන්ව නැවත ගෙන්වාගන්න දරන උත්සාහයේදී වෙන්නේ ඔවුන් තවත් ඔයාගෙන් ඈතට යන එක විතරයි. යමෙක් මොනයම් හේතුවක් මත හෝ ඔයාව අතහරින තැනදී ඔයාගේ ජීවිතේ උයනක් කියල හිතන්න. හැමෝටම යන්න එන්න පුළුවන් සතුටු උයනක් එහෙම නෙමෙයි! මිස් ලැවැඩර්ගෙ වගේ තමන්ගෙම පෞද්ගලික මල් උයනක්. දැන් ඔයාට කරන්න තියෙන්නේ උයනේ වැහුණු දොරවල් ඇරලා දාල, හුළඟ එන්න ඉඩ දීලා, පරණ මියයමින් තියෙන මල් මැරෙන්න දීලා, අලුත් ලස්සන මල් ටිකක් හිටවන එක.
අහිමිවීමක් කියන්නේ හැම වෙලාවෙම අළු පාට මුඩු බිමක් නෙමෙයි. සමහර වෙලාවට ඒක අලුතෙන් රෝස උයනක් වවන්න හැදෙන ඉඩක්. ඒක කරන්න ලේසි නෑ. මොකද ආදරේ කරපු කෙනෙක් නැතිවුණාම, අපිට ඒ ට්රැජඩි එකෙන් ගැළවෙන්න, ඒ වොයිඩ් එකෙන් ගැළවෙන්න හැමවෙලේම විලන් කෙනෙක් ඕනේ වෙනවා. එතැනදී ඔයා පහසුවෙන්ම එක්කෝ ඒ මනුස්සයව, නැත්නම් එයා තෝරගත්ත අලුත් කෙනාව අන්න ඒ විලන් ට ආදේශ කරගන්නවා. ඊළඟට ඒ මිනිස්සුන්ට වද දෙන්න පුළුවන් යටි සැලසුම් හදනවා.
'බලන්න, ඔයා මට කරපු දේ.'
'බලන්න, මම කොච්චර විඳෙව්වද.'
'බලන්න, මම ඔයා නැතුවත් හොඳින් '
වගේ දහසකුත් එකක් දේවල් ඔප්පු කරලා පෙන්නන්න පුදුමාකාර විදිහට ඔයා ඔයාගේ පෙට්රල් පුච්චගන්නවා. වස්තුවේ මෙතැනදී ඔයා තේරුම්ගන්න ඕනේ කාරණා දෙකක් තියෙනවා.
1. ඔයා පුර හඳ වුණත් ඒ මනුස්සයා ආස තරුවකට නම් එයාට ඔයාගේ වටිනාකමක් නැහැ. මොන ක්රමේකට හරි ඔයා ආයේ එයාව ගෙන්නගත්තත්, ආයේ අලුත් දිළිසෙන තරුවක් දැකපු ගමන් ආයේ ඒ මිනිහා දුවනවා. එහෙම නැත්නම් ඔයා තරුවක් හරි වෙලා එයාට ගැළපෙන්න දරන උත්සාහයේදී ඔයාට ඔයාගේ හඳක වටිනාකම් ටික නැති වෙලා යනවා. සීරියස්ලි? ඔයාට එච්චර නොවටිනා තරඟයක් අවශ්යද ?
2. එයාව හෝ එයාලව විලන්ලා කරන්න ඔයා දරන උත්ස්සහයේදී, ඔයාවම විෂ වෙලා ඔයාගෙම අභ්යන්තර වටිනාකම් ඒ විෂ තුළ දියවෙලා යනවා කියලා නොතේරෙන්න තරම් ඔයා මොට්ටද ? ඔයාගේ අභ්යන්තරය එච්චර හිස් ද ? එයාලව විලන්ලා කරන තැනදීම ඔයත් හොඳ මනුස්සයෙක් නෙමෙයි කියන එකත් ඉබේම ඔප්පු වෙනවා.
එතකොට ඔයාගේ තරහව,වේදනාව, කළකිරීම වැඩකට නැද්ද ? අපෝ නැහැ! ඒවා හරිම මානුෂිකයි. ඒත් ඒවා ඔයාගෙම උයනක් සරු කරගන්න පාවිච්චි නොකර දාල ගිය මිනිස්සු හෝ ඔයාට දාල එන්න වුණු මිනිස්සු විනාස කරන්න යොදාගන්න හිතනවානම්, මොනදේ කරලා ඔයාට අවශ්ය දේ ලබාගත්තත් ඔයා සදාකාලයටම අසමත් මනුස්සයෙක් විතරයි. මොකද ඔවුන් තුළ ඔයා ගැන තිබුණු 'ගෞරවය', අන්න ඒක තමයි වචනය! ආදරය නෙමෙයි ගෞරවය. අන්න ඒක ඔයාට නැතිවෙලා ඉවරයි. මිනිස්සු තුළ අපි කෙරෙහි වන ආදරයත්, ආකර්ෂණයත් දියවෙලා යන්න පුළුවන්, ඒත් ගෞරවය එහෙම දියවෙන්නේ නැහැ. ඒකත් විනාස කරගන්න පුළුවන් එකම මනුස්සයා ඔයාම විතරයි. ජීවිතය කියන්නේ කාටවත් සාක්ෂි පෙන්වන්න, show off කරන්න, වෛර කරන්න තරම් දිගු කාලයක් පවතින දෙයක් නෙමෙයි.
කෙනෙක් ඔයාට මල් ගෙනාවේ නෑ කියලා ඔයා මල් වලට ආදරේ කරන එක නවත්වන්න ඕනෙද ? මලක් ගේන එකේ සුන්දරත්වය නොදන්න මිනිහෙක් නිසා ඔයාගේ උයන මැලවිලා යන්න ඕනෙද ? අපි ජීවිතයේ අන්තිමට ඉතුරු කරලා යන්නේ අපිට ආදරේ කළේ කව්ද කියලා අපේ ප්රේමවන්තයින්ගේ ලැයිස්තුවක් නෙමෙයි. අපිට හම්බුණු මිනිස්සුන්ගේ ජීවිතවලට අපෙන් ලැබුණේ මොන වගේ සුවඳක්ද, මොනවගේ ආලෝකයක්ද, මොනවගේ පැහැයන්ද කියන මතකයයි අපි මේ ලෝකේ ඉතිරි කරලා යන්නේ.
සමහර මිනිස්සු අපේ ජීවිතයෙන් යන්නේ අපේ ජීවිත උයනෙන් අඩක් ගිනි තියලා, අළු කරලා, තුවාල ඉතිරි කරලා
ඒත් තවත් සමහරු…, ඔව් එයාලා ගියාට පස්සෙත් අපිට දැනී නොදැනෙන මෘදු සුවඳක් ඉතුරු වෙනවා.
ඔයා, මම, අපි අන්න ඒ මෘදු සුවඳ වුණොත් විතරමයි අපි දිනපු මිනිස්සු බවට පත්වෙන්නේ. කෙනෙක්ට ඔයාව අහිමි වුණාට පස්සෙත් ඒ මනුස්සයා කියනවනම් 'එයා තමයි මගේ ජීවිතේට මේ ආලෝකය ගෙනාවේ' කියලා ඇත්තටම ඔයාට ඔවුන්ව අහිමි වෙලා නැහැ. ඔයා ඔවුන්ගේ මතකය තුළ රෝස උයනක් වගේ ලස්සනයි, සුවඳයි, පුරහඳක් වගේ එළියයි. ඒක තමයි අහිමිවීමක සැබෑ සෞන්දර්ය.
අහිමිවීමකින් පස්සේ අපිට අපේම රෝස උයන ගැන විකල්ප දෙකක් තියෙනවා.
එකක් කිසිදවසක මල් නොපිපෙන කටු රෝස සහ වෙනත් කටු වැල් වවන එක. ඔයාට එතනින් එළියට යාගන්නත් බෑ, කාටවත් ඇතුළට එන්නත් බෑ.
අනික ආරක්ෂාවට කටු තිබුණත් මුළු උයනම සුවඳින් පුරවන රෝස මල් පිපෙන වැල් රෝස වවන එක.
මතක තියාගන්න මේක නිදි කුමාරිගේ සුරංගනා කතාව නෙමෙයි. ඔයාම වවන කටු උයනින් ඔයාව බේරගන්න අතපය හූරන් කඩුවලින් කටු වැල් කපන් එක කුමාරවරු දුර්ලභයි. අනෙක් අතට රෝස වවන එකත් ලේසි නැහැ. සෑහෙන දවසක් වතුර දාන්න වෙනවා. ඉවසන්න වෙනවා. ඉර එළියටත්, වැස්සටත් ඉඩ දෙන්න වෙනවා. ලොකුම දේ කොහොමහරි දවසක මල් පිපෙන බව විශ්වාස කරන්න වෙනවා.
Healing කියන්නේ අතීතය අමතක කරන එක නෙමෙයි.ඒ අතීත මතක උඩ රෝස මල් වවන එකයි.
ඉතිං අදට මේ ඇති. අන්තිමටම මං මෙන්න මේ ලිලැක් කවිය අමුණනවා
'ප්රේමනීය මිනිසුනි,
අතැර යනවිට යම් තැනක්
තබා යන්න එහි
ඔබ සිටි බවට...
සියුම් ටින්කර්බෙල් දිලිසුමක්
සිහින් කැෆේන්මය උණුසුමක්'
-Yesha Fernando-
