අපිට අපේ මුළු හදවතම පිරිලා යන තරම් තව මනුස්සයෙක් ගැන ආදරයක් හිතෙන එක මාර දෙයක් නේද ? සමහර වෙලාවට අපිටවත් හිතාගන්න බැහැ ඇයි අපි එයාලට ඒ තරම් ආදරේ කියලා. හැබැයි ඒ ආදරේම ආපහු අපිට ලැබෙයි කියලා හිතන තැනදි අපි හුඟ දෙනෙක් බිඳිලා යනවා. ඒක තමයි ඛේදවාචකය නේද ?
ඔය බිඳී යාමට පළවෙනි හේතුව ඔයාමයි කියලා ඔයාට හිතෙන්නේ නැද්ද වස්තුවේ?
හිතන්නකෝ මේසයක් උඩ ප්‍රමාණ දෙකක වීදුරු භාජන දෙකක් තියලා තියනවා. එතනින් එකකට වතුර අල්ලන්නේ එක ලීටරයයි, අනිකට ලීටර දෙකක් අල්ලනවා. ඒත් ඔයා ඒක දන්නේ නැහැ. පිටත පෙනුමෙන් දෙකම එක ප්‍රමාණෙ භාජන වගේ තමා පේන්නේ. මේ ලෝකේ ආදරේ මවපු දෙවියා ඔයාට වතුර ලීටර් 4 ක වතුර කෑන් එකක් දීලා කියනවා එක බිංදුවක්වත් ඒ කෑන් එකේ ඉතිරි නොවී මේ භාජන දෙකට පුරවන්න, මොන ක්‍රමයකට හරි කෑන් එකේ වතුර ඉවතට හලන්නේ නැතුව වැඩේ ඉවර කරන්න ඕනේ, වතුර ඉතිරි වුණොත් ඔයා ආදරේ සෙල්ලමෙන් පරාද වෙනවා කියලා. ඕකත් ගේමක්ද කියලා ඔයා වැඩේ පටන් ගන්නවා. ඔයා මුලින් එක භාජනෙකට වතුර පුරවනවා. හරි කෑන් එකෙන් භාගයක් හිස්. තව භාගයක් තියෙනවා. අනිත් භාජනෙත් පෙනුමට ඒ ප්රමාණෙමනේ, ඔයා ඒකටත් වතුර පුරවන්න ගන්නවා. එක ලීටරයක් ඉවර වෙනකොට ඒ භාජනේ පිරිලා ඉවර වෙනවා. කෑන් එකේ තව ලීටරයක්ම ඉතුරු වෙනවා. ඔයා කලබල වෙනවා, බය වෙනවා, ඔයා තව තව ඒ භාජනේට වතුර දාන්න බලනවා. වැඩක් නෑ භාජනේට තව වතුර අල්ලන්නේ නෑ. වැඩිපුර දාන වතුර ඉහිරිලා ඉතිරිලා යනවා. ඔයා ආදරේ සෙල්ලමෙන් පරදිනවා.
කොතනද වැරැද්ද ?
ඔයාගේ මිණුමේ!
දෙකම පෙනුමට එක වගේ නිසා ඔයා ඒවල ගැඹුරත් එක වගේ ඇති කියලා assume කරනවා. අහ් මේකට දෙකක් ඇල්ලුවනම් අනිත් එකටත් ලීටර් දෙකක් අල්ලනවා ඇති කියලා ඔයා projection එකක් හදාගන්නවා. අන්තිමට ඔයාගේ බලාපොරොත්තුවම, ඔයාගේ මැන ගැනීමම ඔයාව පරද්දලා ඔයාට රිද්දනවා. ඒ projection එකට අන්ධ විදිහට යන්න කලබල නොවී ඔයා නිකමට භාජන දෙකේම ගැඹුර මැනගන්න උත්සාහ කළානම්, එකක ගැඹුර අඩුයි කියලා දැක්කම ඔයාට ලේසියෙන් දිනන්න පුළුවන් ක්‍රමයක් තිබුණා. හැබැයි ඔයා අන්ධ විදිහට විශ්වාස කරපු නිසා ඔයා පැරදුණා.
ඔව්..., ඔයාට දිනන්නත් තිබුණා! ඒ දිනන්න තිබුණු ක්‍රමය මොකක්ද දන්නවද ?
දෙවියො කිව්වේ භාජන දෙකට වතුර පුරවන්න, මොන ක්‍රමයකට හරි කෑන් එකේ වතුර ඉවතට හලන්නේ නැතුව ඉවර කරන්න කියලා. ලීටරයක් වතුර ඉතිරි වුණාම ඔයාට තිබුණා වස්තුවේ කලබල වෙලා අර ගැඹුර අඩු භාජනේටම ඒ වතුර ටික පුරවන්න යන්නේ නැතුව ඒ ඉතිරි වුණු වතුර ටික බොන්න. ඔව් ඔයා තුළටම ඒ වතුර ටික පුරවාගෙන කෑන් එක හිස් කළා නම් ඔයා මේ සෙල්ලම උඩින්ම දිනනවා. මොකද අතිරික්ත වතුර ටික අපතේ ගිහින් නැහැ, ඒක ඔයා තුළම පිරිලා, ඔයාවම පුරවලා.
මේ වතුර නෙමෙයි! මේ තමයි ආදරේ කතාව!
සමහර මිනිස්සු ඔයාට ආදරේ කරන්නේ එයාලගේ ගැඹුරේ ප්‍රමාණෙට, එයාලට පුළුවන් තරමට. එතැනදී ඔයා වගේ ගැඹුරින් දැනෙන්න, හදවතින්ම බැඳෙන්න, ඔයා වගේ ඒ බැඳීම වෙනුවෙන් පෙනී ඉන්න එයාලට බැරි වෙන්න පුළුවන්. එතැනදී ඔයා කොච්චර එයාලට ආදරේ දුන්නත් එයාලට දරාගන්න පුළුවනුත් එයාලගේ ප්‍රමාණෙට විතරයි. අන්න ඒ අතිරික්තය ඔහේ ඉතිරිලා යනකොට තමා ඔයාට රිදෙන්නේ, ඔයාගේ ආදරේට වටිනාකමක් ලැබෙන්නේ නැහැ කියල දැනෙන්නේ, ඔයාගේ ජීවිතේ නාස්ති වෙනවා කියලා දැනෙන්නේ.
හැබැයි ඒක ඔයාගේ අඩුවක් හෝ වැරද්දක් නෙවෙයි. ඔයා ඔයාගේ ඇතුළාන්තය එක්ක ලොකු සටනක් කරලා, රිදුණු තැන් හදාගෙන, තුවාල සුව කරගෙන, ජීවිතේ සමහර අමාරු සත්‍යන් පිළිඅරන් අද ඉන්න තැනට ඇවිත් ඇති. ඒත් හැමෝම ඒ ගමන ඒ විදිහට ඇවිත් නැහැ. හැමෝටම ඔයාට තියෙන තරම් අවබෝධයක්, හැඟීම්වල ගැඹුරක්, ආදරය වෙනුවෙන් කැපවෙන්න හැකියාවක් නැහැ. එයාලා ඉන්නේ තවම සුව වෙමින්, ඉගෙන ගනිමින්, එයාල ගැන අවබෝධ කරගනිමින්. ඔයා ආපු දුරෙන් අඩක්වත් එයාල තවම ඇවිත් නැහැ. ඉතින් එයාලා ගාව නැති දෙයක් දිගින් දිගටම බලාපොරොත්තු වෙනකොට වෙන්නේ, අන්තිමට ඔයාගේ හිතම හිස් වෙලා ආදරය ගැන විශ්වාසය සදහටම බිඳිලා යන එක.
හැබැයි ඔතනදි අර වතුර කෑන් එකේ සිද්දියෙදි මං ඔයාට කියපු දිනන උපක්‍රමය පාවිච්චි කළා නම් ? ඒ වතුර ටික ඔයාම බිව්වනම්, ඒ පිරිලා ඉතිරිලා යන අමතර ආදරේ ඔයා ඔයා ඇතුළටම පුරවගත්තනම්, අන්න එතකොට ගේම් එක change වෙන්න ගන්නවා වස්තුවේ. ඔයා ඒ ආදරේ ඔයා ඇතුළටම පුරවගන්න ගන්න තීරණය කරන පළවෙනි මොහොතෙදිම ඔයා අංශක 360 කින් සියල්ල නැවත හරවනවා. ඔයා පිටතින් ඉන්න ඒ නොගැඹුරු මනුස්සයා තුළින් ආදරේ හොයා හොයා වෙහෙසෙන වෙලාව ඔයාගෙම සුබසිද්ධියට යොදවන්න ගන්නවා. ඔයා අලුත් projectවල වැඩ කරන්න ගන්නවා, ඔයා ඔයාගේ වෘත්තීය ජීවිතේ ඊළඟ පඩිය නගිනවා, ඔයා ඔයාගේ ඊළඟ academic goal එක achieve කරනවා. ඔයා ඔයා වෙනුවෙන්ම ලස්සනට අඳින්න, ආස දේවල් ගන්න, කන්න, ආස තැන්වල යන්න ගන්නවා. ඔයාගේ ආදරේ සංඛ්‍යාතය ඉහළ පරාසයකට යනවා. එතකොට මොකද වෙන්නේ ? අන්න ඒ සමාන ගැඹුරක් දරන, සමාන සංඛ්‍යාතයක් දරන අලුත් මිනිස්සුන්ට ඔයා ඉන්න තැනට දොරවල් ඇරෙන්න ගන්නවා.
ආදරේ කියන්නේ තනි උත්සාහයක් නෙමෙයි වස්තුවේ. එක්කෙනෙක් හැමදාම ඒ ආදරේ පවත්වගෙන යන්න උත්සාහ කරනකොට අනිත් කෙනා ඔහේ ඉදන් ඒ ආදරේ භුක්ති විඳින එක නෙවෙයි ආදරේ කියන්නේ. දෙන්නම කතා කරන්න ඕනේ. රිදුණු තැන් පිළිගන්න ඕනේ. වැරදුණාම හදාගන්න උත්සාහ කරන්න ඕනේ. Hard conversations තමන්ට කොච්චර අමාරු වුණත් ඒවා මඟහරින්නේ නැතුව අනිත් මනුස්සයට සවන් දෙන්න, එයාගේ වේදනාව සමනය කරන්න, ගැටළුව විසඳගන්න තරම් දෙපාර්ශවයම ඉවසිලිවන්ත සහ පරිණත වෙන්න ඕනේ. දෙන්නටම දෙන්නව ඕනේ වෙන්න ඕනේ වාතාවරණය මොකක් වුණත්. කියන දේවල් ක්‍රියාවලින් ඔප්පු වෙන්න ඕනේ. මොකද, එකම කෙනෙක් හැමදාම බැඳීමක් බේරගන්න සටන් කරනකොට ඒක ආදරයක් වුණත්, ඒක ටිකෙන් ටික තමන්වම නැති කරගන්න සාපයක් වෙනවා ජීවිතේට.
ඒ නිසා, එයාලට වෙන කරන්න දෙයක් නැතිම වෙලාවට විතරක් ඔයාව මතක් වෙන, එයාලගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ අගට ඔයාව දාන මිනිස්සුන්ට so available වෙන එක නතර කරන්න. ඔයාට අවශ්‍යම වෙලාවකටත් ළඟ නැති, බැඳීමක් ඇතුළේ පවා ඔයා තනියි කියන හැඟීම ඔයාට දනවන මිනිස්සුන්ට ඔයාගේ ජීවිතේ ඕනෙම වෙලාවක ඉඩක් වෙන් කරන එක නතර කරන්න.
ඔයාට මතක් වෙන තරමට ඔයාව මතක් වෙන ආදරයක් ලබන්න, ඔයා කියන්න කලින්ම ඔයාගේ නිහඬබව ඇතුළේ තියෙන වේදනාව, බය, කළකිරීම තේරුම් ගන්න උත්සාහ කරන කෙනෙක් ලබන්න, හැමදේම ඔයාම අහනකම් ඉන්නේ නැතුව එයාලත් ඒ වගකීම් ගන්න බැඳීමක සැනසීම විඳින්න ඔයා සුදුසුයි.
ඔයාගේ වටිනාකම ඔයා ඇතුළෙම ප්‍රශ්න කරගන්න තැනට ඔයාව පත් නොකරන, ඔයාගේ වටිනාකම ඔප්පු කරන්න දවස ගාණේ වෙහෙසෙන්න ඕනේ නැති වෙන ගැඹුරු අවබෝධයක් සහ පරිණත බවක් තියෙන මනුස්සයෙක්ට ආදරේ කරන්න ඔයා සුදුසුයි.
ඒ නිසා ඔයාට ආදරේ කරන්න සූදානම් නැති මිනිස්සුන්ව බලෙන් ඒ තැනට අරගෙන එන්න උත්සාහ කරන එක නවත්තන්න. ගැඹුරක් නැති භාජන වලට පිරිලා ඉතිරිලා යනකම් වතුර වක් කරන එක නතර කරන්න. ඒ වතුර ටික ඔයාම බොන්න, ඒ ආදරේ ඔයා ඇතුළටම පුරවගන්න. ඔයා හරියටම ඔයාට ආදරේ කරනවනම් විතරයි ඔයාට ඔයාට හරියට ආදරේ කරන්න හැකියාවක් තියෙන මනුස්සයෙක්ව අඳුනගන්නවත් පුළුවන් වෙන්නේ. ඔයා ඔයාට හරියට ආදරේ නොකර තාක් කල්, ඔයා ඔයාගේ වටිනාකම හරියට අඳුනගන්නෙ නැතිව ඉන්න තාක් කල්, ඔයා ගාවට ඇඳිලා එන්නෙත් ආදරේ අඩු පාඩු තියෙන, හොඳටම තුවාල වුණු මිනිස්සුමයි.
වස්තුවේ, සමහර මිනිස්සු අපේ ජීවිතවලට එන්නේ අපි බලාපොරොත්තු වෙන විදිහට අපිව ආදරෙන් පුරවන්න නෙවෙයි. අපි කොච්චර ආදරේ කරන්න පුළුවන් මිනිස්සුද කියලා අපිටම තේරුම් කරලා දීලා යන්න.
ඒත් මතක තියාගන්න...
ඔයා හරිම ලස්සනයි. ඔයා ඇතුළතිනුත්, පිටතිනුත් ලස්සනයි. ඒක කාටවත් ඔප්පු කරන්න යන්න ඕනේ දෙයක් නෙමේ. හරි ඇස් දෙකකට, හරි හදවතකට ඉතාම පැහැදිලිව පෙනෙන දෙයක්. පැහැදිලිව දකින්න පුළුවන් කෙනෙක්ව දකින්න පුළුවන් ගාණට ඔයාගේ ඇස් දෙකත්, හදවතත්, ජීවිතෙත් පැහැදිලි කරගන්න.
-Yesha Fernando-
