සමහරවෙලාවට ආදරය කියන්නේ හැර යන එකට!
ඔයාට නොකියා ඔයාට ආදරේ කරපු කව්රුහරි කෙනෙක් ගැන ඔයා දන්නවද?
නෑ..., ඒත් ආදරය නිසාම අතහැරිය යුතුව තිබුණු කෙනෙක් ගැන කතාවක් මං දන්නවා. සමහරවෙලාවට ආදරය කියන්නේ හැර යන එකට!
ඉතිං..., මං ඒ කතාව ඔයාට කියන්නද ?
දවසක් සමනලියක් ගෝනුස්සෙක් ළඟට ඇවිත් වැහුවා. එයාගේ වටේ හිටපු හැමෝම එයාට අනතුරු ඇගෙව්වා 'ඔහු ඔහුගේ වලිගයේ විස සඟවාගෙන සිටිනවා, ළඟට යන්න එපා' කියලා. ඒත් ඇය බය වුණේ නැහැ.
'ඔයා මාව බය කරන්නේ නැහැ' - ඇය ගෝනුස්සට කිව්වා. එතෙක් කිසිවෙක් කිසිදාක බියෙන් සැකෙන් තොරව ඔහුට ආදරය කරලා තිබුණේ නැහැ. ඉතිං ඔහු ඇයගේ අපූර්වත්වය විඳිමින් පසෙකින් ඇවිදගෙන ගියා. හෙමින්, පරිස්සමින්, ඇයට නොරිදෙන ලෙස ඔහුව බියකරු කරන දෙය ඇයට අනතුරක් නොවෙන ලෙස සඟවා ගනිමින්. ඇය ඔහුට මල්, ඉර එළිය, ලෝකයේ මෘදු බව පෙන්නුවා. ඇය ඇයගේ ආරක්ෂාව ගැන සැකයකින් තොරව ඔහුට ලෝකයේ සොඳුරුබව කියාදෙමින් හිටියා. දවසක් ඇය ඔහුට මෙහෙම මිමිණුවා
' අනේ ඔයාටත් මගෙත් එක්කම පියාඹන්න පුළුවන් වුණා නම්...'
ඔහු ඔහුගේ ශරීරය දෙස බැලුවා. එය බරයි, සන්නද්ධයි, මහ පොළොවට සමාන්තරයි. ඔහුගේ ස්වභාවය සැකසිලා තිබුණේ සැහැල්ලුව වෙනුවෙන් නෙමේ.
'මාත් හිතනවා මට පුළුවන් වුණානම් කියලා'
ඔහු එහෙම කිව්වේ ඇත්තටමයි.
ඒ රාත්‍රියේ ඇය ඔහු ගැන කිසිදු අවිශ්වාසයකින් තොරව, ඔහුගේ පසෙකින් සන්සුන්ව සාමකාමී ලෙස නින්දට වැටී ඉන්න අතරෙදි ඔහු නොදැනුවත්වම ඔහුගේ විස සහිත වලිගය සෙලවුණා. කෘරත්වයෙන් නෙමෙයි, වෛරයෙන් නෙමෙයි නමුත් පුරුද්දට එහෙම වුණා. එය ඇගේ සුන්දර පිහාටු මත පතිත වුණා. ඇය වේදනාවෙන් ඇහැරුණා.
'ඔයා කිව්වා ඔයා මට වරදක් කරන්නේ නැහැ, ඔයා මට රිද්දන්නේ නැහැ කියලා' ඇය වේදනාවෙන් කිව්වා.
ඔහු හිස නැඹුරු කරගත්තා. 'මං හිතලා එහම කළේ නෑ' ඔහු කිව්වා.
ඉතිං ඒ තමයි ඛේදවාචකය.
'මං දන්නවා' ඇය මිමිණුවා, ඉන්පස්සේ ගැහෙන පිහාටු අපහසුවෙන් ඔසවාගෙන ඔහුව හැර දාලා ඈතට පියෑඹුවා. ඒ ඇය ඔහුට ආදරය නොකළ නිසා නෙමෙයි. නමුත් ආරක්ෂාව, විශ්වාසය මියෙන තැනක ආදරය පවතින්න ඉඩක් නැති නිසා.
ඔයාට රිද්දන හැම කෙනෙක්ම දුෂ්ටයෙක් නෙමෙයි, විලන් කෙනෙක් නෙමෙයි. නමුත් සමහර ආත්ම හැදිලා තියෙන්නේ මෘදුබව වෙනුවෙන් නෙමෙයි. ඔයාට එයාලව තේරුම්ගන්න පුළුවන්. ඔයාට එයාලට සමාව දෙන්න පුළුවන්. නමුත් තවදුරටත් ඔයාට ඔවුන් ළඟ රැඳිලා ඉන්න බෑ. ඔයා ඔවුන්ව හැර යා යුතුමයි. මොකද ඔයාගේ පියාපත් හැදිලා තියෙන්නේ මෘදු..., සොඳුරු දෙය සඳහා. ඔයාගේ අරමුණ, ඔයාගේ ආදරය කොයිතරම් අව්‍යාජ එකක් වුණත් ඔවුන්ගේ හැබෑ ස්වභාවය අමතක කරලා ඔවුන්ට ආදරය කරන්න ඔයාට බැහැ. එහෙම කරන්න ගියොත් එයින් විනාස වෙන්නේ ඔයාමයි.
ඉතිං බිඳුණු පියාපතින්, බරවුණු හදවතින් ඇය පියඹලා ඉවත ගියා. දවසක ඇය වඩා මෘදු තැනක වසාවි. වඩා උණුසුම්, ඇයට හානි කරන තරම් තියුණු කිසිවක් නොමැති ආරක්ෂිත බිමක ඇය ලැගුම් ගනීවි. ඇය නැවත සුවපත් වේවි.
ඔහු..., ඔහු විදිහටම පවතීවි.
ඉතිං දන්නවද ?
ඔයා තමයි ඒ මෘදු පියඹන විචිත්‍රවත් ආත්මය. ඒ හැමවෙලාවෙම ඔයා!
කවදාවත් ආරක්ෂිතව ගොඩ බහින්න බැරි තැන්වලදී ඔයාගේ පියාපත් හකුල ගන්න එපා. එහෙම තැන් අතහැරලා ආරක්ෂිත තැනකට පියාඹන්න.
එතකොට ඔහු...?
අපි කොතරම් ඔවුන්ට ආදරය කළත්, කොතරම් ඔවුන්ට ලෝකයේ සොඳුරු පැහැයන් පෙන්වන්න උත්සාහ කළත් ඇතැම් ජීවිත වෙනස් කරන්න අපිට බැහැ. ඔවුන් වෙනුවෙන් අපිට කළ හැකි හොඳම සහ ආදරණීයම දෙය තමයි ඔවුන්ව හැර යන එක. ඒක නපුරුයි වගේ කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒත් ස්වභාවයෙන්ම අපට වඩා වෙනස් යමෙක්ව ලෝක දෙකක් අතර අතරමං කරනවට වඩා අපිට ඔවුන් වෙනුවෙන් කරන්න පුළුවන් ආදරණීයම දෙය තමයි ඔවුන්ට ඔවුන්ගේ ලෝකයේ ඔවුන් විදිහටම පහසුවෙන් පවතින්න ඉඩ හැරලා ඔවුන්ට නොගැළපෙන අපේ මෘදු පැවැත්ම ඔවුන්ගේ ලෝකයෙන් නිහඬවම ඉවත් කරගෙන යන එක.
ඒ නිසා සමහරවෙලාවට ආදරය කියන්නේ හැර යන එකට!
----------------------------------------------------Yesha Fernando
