ඔයාගේ හිතට දැනෙන දේ ඒ විදිහට දැනෙන්න ඉඩ දෙන්න. ඒක එඩිට් කරන්න ඕනේ නැහැ.
හැම වෙලාවෙම ශක්තිමත් වෙන්න ඕනෑ නැහැ. හැම වෙලාවෙම හිනාවෙලා ඉන්න ඕනෙත් නැහැ. අද ඔයාගේ හිත සැහැල්ලුවෙන් නම්, ඒ සැහැල්ලුව විඳගන්න, ඒ සතුට විඳින්න. "මේක ටික වෙලාවයි. ආයෙත් මට දුක හිතෙයි" කියලා බය වෙලා ඒ සතුටු මොහොතත් නැති කරගන්න එපා.
දුක නෑවිත් ඉන්නේ නැහැ. ඒත් එයා එනකම් අපි බලන් ඉන්න ඕනෙත් නැහැ ඔයාට මුණ ගැහෙන හැම මනුස්සයෙක්ම වගේ තමයි දුක සහ සතුටත්, සදාකාලිකව අපි ළඟ නවතින්නේ නැහැ. දුක ආවොත් ඒක වළක්වන්න එපා. සතුට ආවොත් ඒ සතුට ගැන සැක කරන්න එපා. ජීවිතය අපෙන් ඉල්ලන්නේ අපේ හැබෑම හැඟීම් මකාදාන්න කියලා නෙමෙයි. අපි අපි විදිහටම ඒවා හරහා ඇවිදගෙන යන්න කියලයි.
මතක තියාගන්න...
ඔයා ආපහු ඔයාගෙම මාර්ගයක් හොයා ගනියි, හැම වතාවකම වගේම. ඒ දවස ආවම, ඒ සතුටත් උණුසුම්ව වැළඳගන්න. අපි තවමත් හුස්ම ගන්න එක කොච්චර වාසනාවක්ද කියලා කවදාහරි හිතලා තියෙනවද?
මල්වල සුවඳක් විඳින්න අපි තවමත් ජීවත් වෙනවා. මුහුදේ ලුණු වතුරට දෙපා සෝදන්න ඉඩ හරින්න අපිට තවමත් පුළුවන්.
හුළඟක් අපේ ඇඟ පුරා දිව යන හැටි දැනෙන්න, ගැඹුරින් හුස්මක් ගන්න, ආදරෙන් කෙනෙක් වෙනුවෙන් කෑමක් හදන්න, හේතුවක් නැතුව නටන්න, හිනාවෙන්න, ඇවිදින්න, සිංදුවක් කියන්න, දොඩම් ගෙඩියක, ස්ට්රෝබෙරි ගෙඩියක රස බලන්න, හිතට එන දේවල් නොහිතා පහසු ඇඳුමක් ඇඳගෙන යන්න, මතකයන් අතර සැරිසරන්න...
මේ හැමදේම කරන්න අපිට තවමත් අවස්ථාව ලැබිලා තියෙනවා.
ජීවත් වෙන්න.
දැනෙන්න, ජීවත්වෙන්න...
තව එක අඩියක් ඉස්සරහට තියන්න වස්තුවේ...ඒකම මොන තරම් ආශීර්වාදයක්ද.
ඇත්තටම ජීවිතය කියන්නේ ලොකු සිදුවීම් නෙවෙයි. උදේ කෝපි කෝප්පයක් හදන අතරේ, කැතට සිංදුවක් කියන එක. "අද ඔයාගේ කොණ්ඩේ හරි ලස්සනයි" නැත්නම් "අද නම් මුණ හරි එළියයි" වගේ දෙයක් කවුරුහරි ඔයාට කියන එක. "කමක් නෑ අදට මං වැඩ කළා ඇති" කියලා ඔයාට හිතෙන එක.
ඇත්තටම ජීවිතය කියන්නේ මෙන්න මේ වගේ පුංචි මොහොතවල්. ඇත්තටම හරි පුංචි දේවල්. ඒවා එකතු වෙලා තමයි අපේ ජීවිතයේ ලස්සනම සිතුවම අඳින්නේ. ඉතින් කවදාහරි ආපස්සට හැරිලා බලන දවසක, අපිට මතක හිටියොත් ඒ
කෙනෙක්ගේ හිනාවක්
වැස්සක සුවඳ
හිරු එළියේ උණුසුම
අතක පහස
තේ කෝප්පයක්
පාරක නැවත නැවතත් ඇවිදපු හැන්දෑවක්
අපි ආදරේ කරපු මිනිස්සු
අපි ආදරේ කරපු මොහොතවල්
වගේ පොඩි පොඩි දේවල් තමයි සතුටු මතක විදිහට මුලින්ම මතකෙට එන්නේ.
ඒ නිසා...හැම හවසකම ඉර බැස යනවා දැකලා, ඔයා ඒක දකින්නේ පළවෙනි වතාවට වගේ සතුටු වෙන්න. ලස්සනයි කියලා හිතෙන හැම දෙයක්ම ඡායාරූපයක් කරගන්න, ඒ මොහොත ආයේ එන්නේ නැහැ. සතියකට කලින් වෙච්ච දෙයක් මතක් වුණොත් ආයෙත් හයියෙන් හිනාවෙන්න. ලෝකය හීනයක් වගේ ලස්සනයි කියලා විශ්වාස කරන්න. හිත උණුසුම් කරන මිනිස්සු ඉස්සරහා ඔයා ආසම කවි මතකයෙන් කියවන්න.
කවුරුහරි ඔයාට කිව්වොත් "ඔයා ඕනෑවට වඩා සංවේදීයි, විකාරයි " කියලා ඔවුන්ට ඔවුන්ගේ පාඩුවේ ඔයාගේ ජීවිතෙන් පිටවෙලා යන්න ඉඩ හරින්න. මොකද ලෝකයේ ලස්සන දේවල් තවමත් දකින්න පුළුවන් ඇස් තියෙන්නේ ඔයාටයි. අනිත් අය නොදකින පුංචි ආලෝකයක් පවා හඳුනාගන්න පුළුවන් හදවතක් තියෙන්නේ ඔයාටයි. ඒක දුර්වලකමක් නෙවෙයි. ඒක තමයි ඔයා සතු ශක්තිමත්ම සෞන්දර්යය.
පුංචි දේවල්වලට ආදරය කරන්න. හැඟීම්වලට ඉඩ දෙන්න. ජීවිතේ ගෙවන්න හදිස්සි වෙන්න එපා. සෙමෙන් සිපගන්න, සෙමෙන් ආදරය කරන්න, ඉක්මණින් සමාව දෙන්න, හැම පුංචි මොහොතක්ම විඳින්න.
මොකද, අවසානයේ අපිට මතක තියෙන්නේ ජීවිතය කොච්චර දිගද කියන එක නෙවෙයි...අපිට ඒ ජීවිතය කොච්චර ගැඹුරින් දැනුණාද, අපි අපිටම කොයිතරම් අවංකව ඒ තුළ ජීවත් වුණාද කියන එක විතරයි.
-Yesha Fernando-
