ඒත් අවුරුද්දෙන් මාස හයක් ඉක්ම ගිහින් අවුරුද්දේ දෙවැනි අඩට අපි පා තියලා ඉන්න වෙලාවේ ඔයාගේ හදවතේ යම් දුකක් තියෙන්න පුළුවන් මං මොනවද ඇත්තටම මේ මාස හයට කළේ කියලා. වස්තුවේ, ඔයා ඔයාට පුළුවන් දේ කළා. සමහරවිට ඒ ඔයාගේ උපරිමය නොවෙන්න පුළුවන්. ඒත් ඔයා ඔයාට පුළුවන් දේ කළා. මේ සටහන ඔයාට ඒ ගැන ආයෙමත් සැනසීමක් දනවන්නයි.
මේ සති අන්තයේ මේ ගැන ටිකක් සීරියස් හිතන්න...
සමහර දවස්වලට ජීවිතය අපෙන් බලාපොරොත්තු වෙන්නේ තවත් සටනක් නෙමෙයි. ටික වෙලාවකට ඔහොම ඔතැන නවතින්න කියලා විතරයි. නැවතිලා පොඩි විවේකයක් ගන්න. ඊළඟට හොඳ හුස්මක් අරගෙන ඔයාගෙම වේගයට ඉතිරි ගමන අරඹන්න කියලා විතරයි.
මෙන්න මේ නැවතීමේ විවේකය වෙනුවෙන් එක දවසක් ඔයා ඔයාටම පුර්ණව ආදරේ කරන්න.
ඒලාම් එක නොතියා එක දවසක් හිරු එළියට ඔයාව අවදි කරන්න ඉඩ දෙන්න. ජනේලය ඇරලා, ලේස් තිර රෙදි අතරින් උදෑසන පිනි හුළඟ ඔයාගේ පොඩි කාමරය ඇතුළට ගලාගෙන එන විදිහ විඳින්න. ඔයාට හුරුපුරුදු පාර දිගේ හෙමින් ඇවිදින්න. රස්සාවට දුවන කලබලෙන් නෙමෙයි, ඔයාගේ හැම පියවරක් ගැනම සිහියෙන් හෙමින් ඇවිදින්න. මේ ජූලි මාසයේ ගිම්හාන හිරු රැසින් නැහැවුණු තුරුපත් සෙලවෙන හඬ, නොහඳුනන බසකින් ඇහෙන කුරුල්ලෙක්ගේ කතා බහක් හොඳින් අහගෙන ඉන්න.
ඔයා කැමති විදිහට කුරුඳු කුඩු ටිකක්, ඉඟුරු කෑල්ලක්, එනසාල් ඇට කිහිපයක් දාලා නැවුම් අලුත් තේ කෝප්පයක් හදාගන්න.
වෙනදා කලබලෙන් නෙමෙයි, හෙමින්. ඒ කෝප්පයෙන් ගලාගෙන එන උණුසුමත් නැවුම් කුළුබඩු සුවඳත් ඔයාගේ දෑත් අතර රැඳෙන්න ඉඩ දෙන්න. කාලෙකින් නොකියවපු පොතක් අරගෙන පිටු කිහිපයක් කියවන්න, නැත්නම් බාගෙට නතර කරපු නෙට්ෆ්ලික්ස් සීරිස් එකක කොටසක් බලන්න.
හැම විනාඩියක්ම ඵලදායී වෙන්න ඕනේ කියලා දෙයක් අපේ ඔලුවලට ඔබ්බලා තියෙන ලෝකයක, කිසිම දෙයක් නොකරන මොහොතක් කියන්නෙ හැබෑවටම ජීවත් වෙන මොහොතක් කියලා මේ දේවල් කරනකොට ඔයාට දැනෙන්න ඕනේ.
මොකද...
විවේක ගන්න මිනිස්සු කියන්නේ කම්මැලි මිනිස්සු නෙමෙයි. විවේක ගන්න මිනිස්සු කියන්නේ හෙට දවස ආදරෙන් පුරවගන්න ශක්තිය එකතු කරගන්න මිනිස්සු. ඉන්පස්සේ, හෙමින් ඔයාගෙන්ම අහන්න.
'මේ මාස හය ඉවරවෙනකොට මං කව්ද ?'
අන්න ඒ ඔයාගේ අනාගත වර්ෂන් එක දැනටමත් කොහේ හරි ඉන්නවා වගේ ඔයාට දැනෙනවා නේද?ඔව් එයා ඇත්තටම ඉන්නවා. හැබැයි මේ මාස හයේ ඔයා දුවපු නමුත් මොනවද කළේ කියලා ඔයාටත් හිතාගන්න බැරි රේස් එක ඒ මාස හයෙත් දුවන්න ඒ අනාගත වර්ෂන් එකට බෑ.
ඒ වෙනුවෙන් ගන්න තියෙන්නේ ලොකු තීරණ නම් නෙමෙයි. ඒ මාස හය ජීවත්වෙනවා කියලා දැනෙන්න ජීවත් වෙන්න නම් ඔයාට ගන්න තියෙන්නේ පුංචි තීරණ විතරයි.
අවුරුද්දක් ඉවරවෙනකොට මිනිස්සු වෙනස් වෙන්නේ එක දවසකින් සිද්ද වෙච්ච දේවල් වලින් නෙමෙයි. දින සිය ගණනක් පුරා එකතු වුණු පුංචි පියවරවලින්, පුංචි තීරණවලින්.
ඒ නිසා, ලෝකය දිහා බලලා, අනිත් අය දේවල් දිනාගන්න දිහා බලලා, අනිත් අයගේ සැලසුම් සහ කාල සටහන් දිහා බලලා බය වෙන්න එපා. එහෙම වුණොත් ඉතිරි මාස හය අපරාදේ.
ඔයා ඔයා දිහා විතරක් බලන්න. අලුත් දෙයක් පටන් ගන්න බය හිතෙන්න පුළුවන්. ඒත් ඒ බයම දේ හෙමින් අත්පත් කරගන්න කෙටි පියවරල් තියන්න, ඒ අත්පත් කරගැනීම දෙසට දිවෙන කුඩා තීරණ ගන්න. අනිත් අයගේ පරිච්ඡේද එක්ක ඔයාගේ පළවෙනි පිටුව සංසන්දනය ඕනේ නැහැ.
මලක් පිපෙන්නේ තමන්ගෙම වෙලාවකට. වැස්සට, ඉරට, හඳට, තාරකාවලටත් තමන්ගෙම රිද්මයන්, තමන්ගෙම නියමයන් තියෙනවා. ඔයාටත් එහෙමයි.
බොරු කලබල ඕනේ නෑ. මහන්සි වෙලාවට නවතින්න. ආයේ පටන් ගන්න. මේ දෙසම්බරේ නත්තල් එළි දිලිසෙන්න ගන්නකොට ඔයාගේ ඇස් ඒ ෆෙයරි බල්බ් එළිවලට වඩා දිලිසෙන්න ගන්න, 'ඕහ් මම හිතුවාටත් වඩා ලස්සන, හයිය කෙනෙක් මගේ ඇතුළේ ඉඳලා' කියලා ඔයාට දැනෙන ඔයාගෙම කාලසටහනකට, සැලසුමකට වැඩ කරන්න පටන් ගන්න.
හැබැයි ඒ සැලසුම් ගැන ඔයා ඇරෙන්න වෙන කව්රුවත්ම දැනගෙන හිටියේ නැතුවට කමක් නැති බවත් මතක තියාගන්න.
Grow in silence... Bloom in silence... Not every beautiful thing needs an audience...
-Yesha Fernando-
