අදින් සතියක් අවසන් වෙනවා. ඒත් ඇහිපිය ගහන පමාවෙන් සති අන්තය ගෙවිලා අලුත් සතියක් ආරම්භ වෙනවා. අන්න ඒ අලුත් සතියට කලින් මේ වචන ටික හදවතේ තැන්පත් කරගන්න.
සෙනසුරාදා ඉරිදා ඉවර වුණාම ආපහු එපා කරපු සඳුදා, එහෙම නේද ?
සඳුදා ඇයි මේ තරම් බර?
ඒ ඉබේම අපි හිතන්න පුරුදු වෙලා ඉන්න නිසා අලුත් සතියක පළවෙනි දවස අපි මොනාම හරි වැඩකට ඇති දෙයක් කරන්න ඕනේ, අලුත් වෙන්න ඕනේ, අලුතෙන් හිතන්න ඕනේ වගේ මහප්‍රාණ දේවල්.
වස්තුවේ...ඒ ඔක්කොටම කලින් හුස්ම ගන්න!
සඳුදා උදේ නැගිටිනකොට අලුත් කෙනෙක් වෙලා ඉන්න ඕනේ කියලා හිතෙන සිතුවිල්ලම අනවශ්‍ය වෙහෙසක්.
ගිය සතියේ කරගන්න බැරිවුණු දේවල්, කියන්න බැරි වුණු දේවල්, ගත්ත වැරදි තීරණ, බිඳුණු බලාපොරොත්තු, හරියට ඉවරයක් නොවුණු වැඩ... මේ හැමදේම එක රැයකින් හරි ගස්සලා, සඳුදා දවස වෙනකොට ඒ ඔක්කොම යහපත් තත්වයට ගන්න නම් එක්කෝ ඔයා දෙවියන් වහන්සේ වෙන්න ඕනේ, නැත්නම් යක්ෂයා වෙන්න ඕනේ.
එහෙම නැත්නම් අර කනෙන් රිංගලා මේ කනෙන් එළියට එනකොට ඔයාගේ වැඩ ඔක්කොම කෙරිලා තියෙන මැජික් එකක් තියෙන පුදුම අශ්වයෙක්, ලී බෝනික්කෙක්, රතු එළදෙනක් නැත්නම් නුවණැති ගෙම්බියෙක්වත් ඔයාට ඉන්න ඕනේ.
හැබැයි ජීවිතේ එහෙම සුරංගනා කතාවක් නෙමෙයි. සමහර වෙලාවට රෑට නැති නුවණ උදේට පහළ වෙන්නෙත් නැහැ. මොකද ජීවිතේ අපෙන් ඉල්ලා හිටින්නේ එහෙම මැජික් නෙමෙයි.
ජීවිතය අපෙන් ඉල්ලන්නේ,
තව වතාවක් උත්සාහ කරලා බලන්න කැමති ධෛර්යය
තව වතාවක් ආදරය කරලා බලන්න කැමති හදවතක්
තව වතාවක් ඔයා ගැනම විශ්වාස කරන්න ඉදිරිපත් වෙන ඔයාගෙම වර්ෂන් එකක්
අපේ හැම ප්‍රශ්නයකටම උත්තරේ උදේට මේසේ උඩ තියලා අත්දෙකට හම්බෙන්න නියමිත නැහැ. අපි තෝරාගන්න ඕනේ හරිම මාර්ගය ඊළඟ සඳුදා වෙනකොට අපේ ඇස් ඉස්සරහා ප්රාදුර්භූත වෙන්න ඕනේ කියලා එකකුත් නැහැ. සමහරවෙලාවට හරිම මාර්ගය පේන්න ගන්නේ සතිය පුරාම ඒ හැම විසදුමක් ඔස්සෙම කරක් ගැහුවට පස්සෙයි.
ඉතිං අද පොඩ්ඩකට බිමින් තියන හිතේ බර ආපහු ඉරිදා රෑ වෙනකොට සඳුදා උදේ වෙනකොට ඔලුව උඩට ගන්න ඕනෙමයි කියල එකක් නැහැ. සමහරවිට ඊළඟ සතියේ ඔයාගේ සතිය හරියටම පටන් ගන්නේ බදාදා ගිනි දවල් වෙන්න පුළුවන්, නැත්නම් බ්‍රහස්පතින්දා මැදියම් රෑ වෙන්නත් පුළුවන්. වැදගත්ම දේ ඔයා පටන් ගන්න දේ ගැන පොඩි උණුසුමක් ඔයාගේ හදවතට දැනෙන එකයි. හදවතට කිසිම උණුසුමක් නොදනවන, හැමදාම කරන දේවල් ටිකක් සඳුදා උදේ පාන්දරත් පටන් ගත්තා කියලා ඔයාවත් ඔයාගේ සතියවත් අලුත් වෙන්නේ නැහැ වස්තුවේ...
මුලින්ම හැමදේම ඔයාම කරන්න ඕනේ, ඔයාම විසඳන්න ඕනේ කියන බරින් ඔයාව නිදහස් කරගන්න. හැම පුංචි දේම ඔයා හොයලා බලලා කරන නිසා ඒවා ඔයාගේ ඔලුව උඩටම දාල ඉන්න මිනිස්සුන්ට ඒවා ඔයා නැතුව කරගන්න ඉඩ අරින්න.
ඔයාට මහන්සි නම් 'මහන්සියි' කියන එක ගැන වරදකාරී හැඟීමක් හිතට ගන්න එපා. ඔයා තවමත් කිසියම් බිඳීමකින් සුවපත් වෙමින් ඉන්නවනම් ඒ සුවපත්වීම ඉක්මන් කරන්න දඟලන්න එපා. ඒකට ඒ කාලය ගන්න ඉඩ දෙන්න. ඔව් සමහර දවස්වලට අපි පස්සට මෝටර් හයි කරපු කඩි වගේ හුඟක් වැඩ කරනවා තමයි, එහෙම දවස්වලදී අපි දිගු අඩි තියලා දවස ගෙවනවා. ඒත් සමහර දවස් තියෙනවා, ඒ දවස්වලදී ඔයා හුස්ම ගන්න එකම විතරක් ඇති! ඇති කියන්නේ හොඳටම ඇති!!
ඉතිං මේ සතිඅන්තය ගෙවිලා එළඹෙන සඳුදට ඔයාට කරන්න තියෙන්නේ එකම එක දෙයයි. ඔයා ඔයා විදිහටම ඒ දවසට ඇහැරෙන්න. හරිම මෘදුව, කලබලයකින් තොරව ඔයාගේ වැඩ ටික පටන් ගන්න. ඒ පටන් ගන්න සතියෙදි ජීවිතය ඔයාගෙන් ඉල්ලා හිටින්නේ වැරදි නොකරන, අතපසුවීම් සිදු නොවෙන, වැරදි තීරණ නොගන්න මනුස්සයෙක් නෙමෙයි. ඒ අලුත් සතියෙදි ජීවිතය ඉල්ලා හිටින්නේ බයම දේ කරන්න ධෛර්ය ගන්න, හුඟක් අඬලා හරි ආපහු නැගිටින, තමන් ගැනම බලාපොරොත්තු අත්නොහැර ඉන්න මනුස්සයෙක්.
ඒ ඇති!
ඉරිදා රෑට හේතුවක් නැතුවම හිත බර වෙනව නම්… සඳුදයින් පටන් ගන්න සතිය ගැන බය හෙමින් හෙමින් හිතට රිංගනවනම් මේ වචන ටික ආයෙත් කියවන්න.
ඔයා පර්ෆෙක්ට් වෙන්න අවශ්‍ය නැහැ වස්තුවේ, පර්ෆෙක්ට්ලි ඉම්පර්ෆෙක්ට් මනුස්සයෙක් විදිහට හරි ඔයා ඔයා වෙලාම පවතින එකයි වැදගත්!
-Yesha Fernando-
