ඔයා මනුස්සයෙක්ව ඔයාගෙන් ඈතට තල්ලු කරලා දානකොට පරිස්සම් වෙන්න! ඔයාට පිටින් පේනවට වඩා ලොකු දුරකට ඒ මනුස්සයා ඔයාගෙන් ඈතට විසිවෙන්න පුළුවන්.
අද 11:11. විශ්වයේ බලවත්ම දවස්වලින් එකක්ලු නේද? ඒකෙ ගුප්ත අධ්‍යාත්මිකත්වය මොකක් වුණත්, මං කැමතියි අද ඔයාව අභ්‍යන්තරයෙන් ඇහැරවන පුංචි පණිවිඩයක් කියන්න. ඒක ඔයාට මේ මොහොතේ විශ්වයෙන් ලැබෙන හරිම සංඥාව විදිහට භාරගතත් කමක් නැහැ.
ජීවිතයේ සමහර අත්දැකීම්වලින් පස්සේ මිනිස්සු ආපහු ජීවත් වෙන්න පටන් ගන්නේ කලින් හිටපු මිනිස්සු විදිහටම නෙමෙයි.
මනුස්සයෙක්ට එයාගේ ජීවිතේ අත්‍යවශ්‍ය මොහොතෙදි එයා ආදරේ කරන මනුස්සයා එයාව තල්ලු කරලා දැම්මොත් එතනින් එහා හුඟක් දේවල් එයාට තනියම විඳ දරා ගන්න, තනියම මුහුණ දෙන්න, තනියම විසදගන්න සිද්ධ වුනොත් ඒ මනුස්සයා ආයෙත් නැඟිටිනකොට එයා ඇතුළේ මොකක්ම හරි දෙයක් වෙනස් වෙලා කියලා පිටතට පේන්න ගන්නවා. එයා කලින් වගේ හැමදේකටම කලබල වෙන්නේ නැහැ. හැම හිත් රිදීමක්ම බෙදාගන්න උත්සාහ කරන්නේ නැහැ. තමන්ගේ කඳුළු තමන්ම පිහිදගෙන ඊළඟ මිනිත්තුවෙදී මුකුත්ම නොවුණා වගේ ඉන්න එයා ඉගෙනගෙන ගන්නවා. ඒ කුණාටුවෙන් මොනවද එයාගේ අභ්‍යන්තරයේ විනාස වෙලා ගිහින් තියෙන්නේ කියල පිටට පෙන්නේ නැහැ.
කලින් එක වචනයක් වෙනුවෙන් දවසක්ම බලාගෙන හිටපු මනුස්සයෙක්, තවදුරටත් ඒ මඟ බැලීම නොකරන කෙනෙක් වෙන්න පුළුවන්. කලින් තමන්ගේ හැඟීම් තේරුම් කරලා දෙන්න සිය වතාවක් උත්සාහ කරපු කෙනෙක්, දැන් කව්රුහරි ඇහුවත් කිසිම පැහැදිලි කිරීමක් නොකරන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් කියන්නේ එයාට තවදුරටත් රිදෙන්නේ නැහැ කියන එක නෙමෙයි. වෙනස, ඒ වේදනාවට තමන්ගේ මුළු ජීවිතයම පාලනය කරන්න එයා තවදුරටත් ඉඩ නොදෙන එකයි.
සමහර මිනිස්සු ශක්තිමත් වෙන්නේ කවුරුහරි එයාලව බේරගත්ත නිසා නෙවෙයි. කවුරුත් එයාලව බේරගන්න ආවේ නැති නිසා.
ඔයාට දැන් කාව හරි මතක් වෙනවා නේද ? ඒ සමහරවිට ඔයාවමයි, නැත්නම් ඒ ඔයා තල්ලු කරලා දාපු එයා වෙන්නත් පුළුවන්.
දිගින් දිගටම අපි මිනිස්සුන්ගේ ආදරය, ඉවසීම පරික්ෂා කරන්න ගියොත්, ගැඹුරුම හැඟීම් පවා නිහඬවම වියැකිලා යන්න පුළුවන්.
සමහර වෙලාවට අපි හිතනවා, අපි ආදරය කරන කෙනෙක් එක්ක ඇතිවෙන පුංචි වචන හුවමාරුවක්, තරහක්, නොගැළපීමක් හෙට වෙද්දී එයාලට අමතක වෙලා යයි කියලා. ඒත් හැම රණ්ඩුවක්ම එහෙම ඉවර වෙන්නේ නැහැ. සමහරවිට අපි නොදන්නවා වුණාට ඒ සැරින් සැරේ සිද්ද වෙන තල්ලු කිරීම්, හිත් රිදීම් එක්ක අනිත් පැත්තේ මනුස්සයාගේ ජීවිතේ ඇතුළේ අපි නොදැනම අපි වෙනුවෙන් ඉවසීමේ උපරිම සීමාව වෙනුවෙන් දිනයක් පැනවිලා තියෙන්න පුළුවන්. අපිට ඒක පේන්නේ නැහැ මොකද මේ අද දවලුත් එයා බොහොම සන්සුන්ව හිනා වෙලා කතා කළානේ කියලයි අපිට පේන්නේ. ඉතිං හැමදේම තනියම විසඳගන්න පටන් ගත්තට පස්සේ එයා නිහඬවම එහෙම ඒ සම්බන්ධය කල් ඉකුත් වීමේ දිනයක් පනවගෙන ඉන්නවා කියලා නොදැන අපි දිගින් දිගටම එයාව නොසළකා ඉන්න, ලැයිස්තුවේ අගට දාන, අපිට ඕනේ වෙලාවට එහාට තල්ලු කරන ආයේ ඕනේ වෙනකොට ළඟට ගන්න සෙල්ලම කරමින් ඉන්නවා.
ටික්..! ටික්..! ටික්..! ටික්..!
අපි දන්නේ නැතුවම එයාගේ ජීවිතේ ඇතුළේ එයා අපිට දීලා තිබුණු උපරිම කාලය ඉවර වෙනවා!
අපේ සමහර වචනවලට පුළුවන් මනුස්සයෙක්ගේ හිතේ අපි ගැන තිබුණු මුළු චිත්‍රයම වෙනස් කරන්න. එක හඬ උස් කිරීමට, 'මං එහෙම කරන්නේ මට ඕනේ හින්දා' වගේ හරි සාමාන්‍යයි වගේ පේන වචන පේළියකට පුළුවන් මෙච්චර කාලයක් අපිව විශ්වාස කරපු කෙනෙක් එතන ඉදන් අපි දිහා බලන විදිහ සම්පුර්ණයෙන්ම වෙනස් කරවන්න. ඒ මොහොතෙදි එයා වචනයක්වත් නොකියා පිටවෙලා යන්න පුළුවන්. ආයේ හෙට දවසෙදි අපිත් එක්ක හොඳින් කතා කරන්න පුළුවන්. හැබැයි අර කාලය ටික්..! ටික්..! ටික්..! ගාලා අවසන් වෙමින් යන ඔරලෝසුව ක්‍රියාත්මක වෙන්න ගත්තේ අන්න ඒ මොහොතේ ඉදන් වෙන්න පුළුවන්.
ඒ වෙනස සිද්ධ වෙන්නේ හැම වෙලාවෙම කෑගහලා, දොරවල් වහලා, සම්බන්ධකම් නවත්වලා, ගහ මරාගෙන නෙමෙයි. සමහරවිට ඒ මනුස්සයා වෙනදා වගේම කතා කරයි. වෙනදා වගේම හිනා වෙයි. කිසිම වෙනසක් පේන එකක් නැහැ. ඒත් එයාගේ ඇතුළේ මොකක් හරි දෙයක් නිහඬවම වෙනස් වෙලා ඉවරයි.
සමහර හිත් රිදීම්වලදී ඒ සම්බන්ධතාවය නොබිඳෙන්න පුළුවන්, ඒත් එතෙක් ඒ මනුස්සයා අපි ගැන තියාගෙන ඉදපු විශ්වාසය බිඳිලා යනවා. ඒක තමයි භයානකම, ශෝකජනකම දේ.
අපිට ඒක තවත් එක පුංචි misunderstanding එකක්, තරහට කියවුණු වචන ටිකක් විතරක් වෙන්න පුළුවන්. ඒත් අනෙක් කෙනාට ඒක තමන් මෙච්චර කාලයක් නොදැකපු අපේ ස්වරූපයක් හඳුනාගත්තු මොහොත වෙන්න පුළුවන්. එතැනින් පස්සේ එයා ක්‍රමයෙන් නිහඬ වෙන්න ගන්නවා. ඒ එයා අපිට ආදරේ නැති නිසා නෙමෙයි. ඒ..., ඒ ආදරේ ඇතුළේ එයා හරියටම කොතනද ඉන්නේ කියලා පැහැදිලි නැති නිසා. ඒ ආදරය ඇතුළේ එයාට තමන් ආරක්ෂිතයි කියල දැනෙන්නේ නැති නිසා.
Choose the man who chooses you, even when things get difficult කියලා කතාවක් තියෙනවා.
අපි හැම කෙනෙක්ම තෝරගන්න ඕනේ රණ්ඩුවක් වුණාට පස්සෙත් 'ඔයා හොඳින්ද?' කියලා අහන්න කෝල් එකක් ගන්න මනුස්සයෙක්ව. නැතුව අනිකා නොනිදා වේදනාවෙන් රැයක් පහන් කරන බව දැන දැනම තමන්ගේ ego එක කොට්ටෙට තියන් සනීපෙට නිදාගන්න, සහකම්පනයක්, හිතේ තෙතමනයක් නැති මනුස්සයෙක්ව නෙමෙයි. එහෙම තැන්වල කෝ ආදරේ ?
තරහෙන් හිටියත් අපි ගැන හිතන, ප්‍රශ්නයක් ඇති වුණාම ඒක මඟහැරලා යනවා වෙනුවට කතා කරලා විසඳගන්න තරම් emotional maturity තියෙන මනුස්සයෙක්වයි අපි තෝරගන්න ඕනේ. ආදරය කියන්නේ හැමදාම හැමදේටම එකඟ වෙන එක නෙමෙයි. එකඟ වෙන්න බැරි කාරණාවකදී වුණත් අනිකා ගැන අවම සහකම්පනය තියෙන, 'මේ මං ආදරේ කරන්න තෝරගත්තු, ලෝකේ මෙච්චර මිනිස්සු ඉද්දි මටම ආදරේ කරන්න මාව තෝරගත්තු මනුස්සයා' කියන හැඟීම හදවතේ තියෙන එකටයි, ඒක අමතක නොකරන එකටයි ආදරේ කියන්නේ.
හිත රිදුණම ඒක කිව්වොත් ඒක වරදක් වෙනවනම් අන්තිමට ඒ මනුස්සයට තමන්ට හිත රිදුණු එක වරදක් කියලා අනිකාගෙන් සමාව ගන්න සිද්ද වෙනවනම්, මේ සම්බන්ධය ඇතුළේ එයාට එයාව නැති වෙමින් යනවා කියල දැනෙන්න මහ කාලයක් යන්නේ නැහැ. අන්න එහෙම, ඒ මිනිස්සුන්ටත් එකම වේදනාව ආයේ ආයෙමත් විඳින්න බැරි තැනකදී තමන්වම තෝරාගන්න සිද්ධ වෙනවා.
මිනිස්සුන්ට රිදෙනවා. මිනිස්සුන්ගේ විශ්වාසය බිඳෙනවා. සමහර වෙලාවට ඒ විශ්වාසය බිඳුණු තැනින් ආයෙත් ගොඩනඟන්න ඔයාට, මට අවස්ථාවක් ලැබෙන්නත් පුළුවන්.
සමහරවිට කිසි දවසක ඒ අවස්ථාව නොලැබෙන්නත් පුළුවන්.
ඒ නිසා අද 11:11 කියලා විශ්වය ඔයාට මොනවා හරි සංඥාවක් දෙනවනම් ඒ මෙන්න මේ දේ වෙන්න පුළුවන්.
කෙනෙක්ගේ හිත රිද්දන්න කලින් දෙපාරක් හිතන්න. තරහට කියන වචන ආපහු ගන්න බැරි වෙන්න පුළුවන්. ඔයාට සාමාන්‍ය දෙයක් වුණු සිදුවීමක් තවත් කෙනෙකුගේ ජීවිතයේ ඔයා ගැන තිබුණු අවසාන හොඳ හැඟීම වෙන්න පුළුවන්. කෙනෙක් ඔයාට ආදරය කරනව නම් ඒ ආදරය පරීක්ෂා කරන්න යන්න එපා. කෙනෙක් ඔයා වෙනුවෙන් කොන්දේසි විරහිතව ළඟින් ඉන්නව නම් ඒ ඉවසීම අවභාවිත කරන්න එපා. කෙනෙක් ඔයා එක්ක ප්‍රශ්නක් විසඳගන්න උත්සාහ කරනව නම් ඒ උත්සාහය දුර්වලකමක්, වදයක් කියලා හිතන්න එපා.
මොකද සමහර මිනිස්සු අපේ ජීවිතවලින් පිටවෙලා යන්නේ එයාල අපිට ආදරේ නැති නිසා නෙමෙයි, තමන්ගේ ආදරයට තවදුරටත් එතන පැවැත්මක් හෝ වටිනාකමක් නැහැ කියලා දැනුණම. Be careful how you treat a heart that keeps choosing you. One day, it might finally choose itself!
ඒ වගේම මේ මොහොතේ එහෙම පිටවෙලා ආපු කෙනා ඔයා නම්, I'm really proud of you! සමහර rejection කියන්නේ redirection. ඔයා ඒක පිළිගන්න මොහොතේ ඉදන් ඔයා වෙනුවෙන් හොඳම දේවල් සිද්ද වෙන්න පටන් ගන්නවා! ඒක තමයි මේ ජීවිතයේ විශ්වීය සුත්‍රය, වස්තුවේ!
-Yesha Fernando-
